තමන්ගේ පාලන සමය තුළ වැරදිකරුවන්ට දඬුවම් නොදුන් බවටත් වැරදිකරුවන් නිවැරදි කිරීමට හා වැරදි වසන් කිරීමට කටයුතු කළ බවටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා එම වරදකරුවන් හා වැරදි පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගෙන්ම හෙළි කරගැනීමට පරීක්ෂණ ආරම්භ කළ හැකි යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
රාජපක්ෂ මහතා ආරක්ෂාකළ වැරදිකරුවන් කවුද? එසේ කළේ ඇයිද? යන්න ප්‍රශ්න කිරීමට ඔහුට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවටද අයිතිය ඇතැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
හිටපු ජනපති නීතිඥවරයකු සමග හෝ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දීමට නොයන්නේ මේ ගැන ප්‍රශ්න කරන බව දන්නා නිසා යැයි කී අජිත් පී.පෙරේරා මහතා මෙම ප්‍රකාශය නිසා හිටපු ජනපතිට තිබූ ඡන්ද ලක්ෂ 58 න් ලක්ෂ 20 ක් පමණ අඩුවී ඇතැයිද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ධූරයේ සිටි කාලයේ මේ ප්‍රකාශය කළා නම් දෝෂාභියෝගයක් ගෙනැවිත් දඬුවම් ලබාදීමට හැකියාව තිබූ බවද ඔහු පැවසීය.
හිටපු ජනපතිගේ කටට මේ වන විට බ්‍රේක් නැතිවී තිබෙන නිසා ඔහු අල්ලස් කොමිසම හමුවේ මොනවා කියාවිද බියේ වැරදි කළ මන්ත්‍රීවරු ඔහු අල්ලස් කොමිසමට යාම වැළැක්වීමට උත්සාහ කරමින් සිටින බවද අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය. විදුලි පුටු දහසකට වුවත් යාහැකි යැයි වීරයකු සේ කීවද මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට නොයා සිටීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටීම හාස්‍යයට කරුණක් බවද ඔහු කීවේය.




