‘මහින්ද සුනාමි සහන මණ්ඩලය දෙන්න ගියා‘ රතන හිමි


 ‘යුද්ධය පැවැති සමයේ එම ප්‍රදේශවලට ගොස් රණවිරුවන් දිරිමත් කරමින් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ අපට ආණ්ඩුව කොටි ලේබල් අලවන්න යනවා.‘ යැයි ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ අද (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ මාධ්‍ය හමුවක දී  පැවසූහ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමි, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, සුජීව සේනසිංහ සහ අර්ජුන රණතුංග මහත්වරු ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.

‘‘ආණ්ඩුව දැන් සිංහල බෞද්ධයන් අවුස්සන්න හදනවා. අද සිල්රෙදි බෙදනවා, ඔරලෝසු බෙදනවා, ජංගම දුරකතන බෙදනවා. මේවට සල්ලි කොහෙන්ද දන්නේ නෑ. ඒකෙන්ම පේනවා ආණ්ඩුව බය වෙලා ඉන්නා බව.

සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ඕමල්පේ හාමුදුරුවන් දළදා හාමුදුරුවන් අභියස මාරාන්තික උපවාසය කරද්දි එතැනට ආ මහින්ද රාජපක්ෂ කිව්වා සුනාමි සහන මණ්ඩලය දුන්නට කමක් නැහැ කියලා. මා සමග කතාබහකුත් ඇති වුණා. පුළුවන්නම් නැහැ කියන්න. කොටියා මාවිල්ආරු සොරොව්ව කොටි වහපු වෙලාවේ එය විවෘත කර ජනතාවට වතුර දෙන්න අපි පෙරමුණට ගියාම ඊට එරෙහිව මා සමඟ දුරකතනයෙන් විනාඩි 40ක් වාද කළා. පුළුවන්නම් නැහැ කියන්න.

තුවාල වුණු රණවිරුවන් අපි තමයි රෝහල්වලට ගෙනිච්චේ. ඔවුන් සමග හිටියේ අපි. අපි හිටපු තැන්වලට බෝම්බ වැටුණා. ඒත් බයෙන් ආවේ නෑ. ඒ රණවිරුවන් ඊට සාක්කි සපයනවා ඇති.

ඡන්දයෙන් පැරදී හමුදාව යොදවා බලයේ ඉන්න හැදුවට වැඩක් නෑ. හමුදාවේ දරුවන්ගේ හදවත තියෙන්නේ මේ රතන හාමුදුරුවන් සමගයි කියන එක මා මතක් කර දෙනවා.‘‘

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ මෙසේ කීහ.

‘‘ජනාධිපතිවරණයට තව දින දෙකයි. අපි ඉල්ලන්නේ සාධාරණ මැතිවරණයක්. නමුත් අද අල්ලස් දෙනවා. උපාසක අම්මලටත් අල්ලස් දෙනවා. විධායක ජනාධිපති බලතල භාවිතා කර නොයෙකුත් දේ කරනවා. මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. මඩ ගහනවා.‘

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය මෙසේ කීවාය.

‘‘අපි කවදාවත් මේ රට බෙදන්න දෙන්නේ නැහැ. අපි කොටින්ට එරෙහිව සටන් කළා. යාපනයේ මුදවා ගත්තේ අපේ කාලයේයි. අපි ත්‍රස්තවාදයට රුකුල් දුන්නේ නැහැ. පරාජයෙන් වියරු වැටී සිටින මේ ආණ්ඩුව දැන් බොරු ප්‍රචාර යවනවා. රට බෙදන්න අපට පිස්සුවක් නෑ.

මම ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කිව්වා කියා මඩ ගහනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ගැහැනියෙක් ද පිරිමියෙක් ද කියා හඳුනා ගන්නයි මිස්ටර් හා මිසිස් කියන වචන දෙන භාවිත කරන්නේ. මා ප්‍රභාකරන් කියන වචනය එම කතාවේ දී තුන් පාරක් පමණ කළා. පළමු වතාවෙදි පමණයි මිස්ටර් කිව්වේ. ඒ කිව්වෙත් සමච්චලයට. මිස්ටර් කියන වචනයේ තේරුම මැතිතුමා කියන එක නොවෙයි.

මහින්ද රාජපක්ෂ මහත්මයත් ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කියා තිබෙනවා. ඔහුගේ නිල වෙබ් අඩවියෙත් ඒවා තිබෙනවා.‘‘

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ සුජීව සේනසිංහ මහත්වරු ද කතා කළහ.