අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
නීතියේ යම් බාධාවක් ඇත්නම් එය සංශෝධනය කර හෝ ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වී ඇති බව පැවසූ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී රංජිත් සොයිසා මහතා තමන්ට දැන් මහ මැතිවරණයක සේයාවක් ළඟ ළඟ එන බව පෙනෙන්නට ඇතැයි අද (4) ඇඹිලිපිටියේ දී පැවසීය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා මේ බව පැවසූ අතර මහ මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණය කෙසේ ඇතිවන්නේ දැයි පැහැදිලි නොකළේය.
රටේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කල් නොදමා පැවැත්විය යුතුය යන ස්ථාවරයේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වීමට පෙර තමන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම සිටි බවත් එම ස්ථාවරයේ අදටත් සිටින බවත් කීවේය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යම් නීතිමය ගැටලූ තැන් ඇත්නම් ඒවා සංශෝධන කර තවදුරටත් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ක‍්‍රියාකරන බව ද පැවසීය.
‘‘හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය දැන් අපිට ලැබිලා තියනවා. යම් කෙනෙක් අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා කියනවා නම් පාර්ලිමේන්තුවේ 120කට වැඩි බහුතරයක් ඇති බව ස්ථාවර නියෝග අනුව පෙන්වීමට එදාට කටයුතු කරනවා. දැන් 118ක් අත්සන් කරලා රනිල් මන්ත‍්‍රීතුමාට පාර්ලිමේන්තුවේ සහාය තියනවයි කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය වෙනවා. ජවිපෙ, ටීඑන්ඒ සහායත් තියනවා කියලා කියනවා. ඒක එහෙම වෙන්න එපායැ.’’
‘‘හාමුට හාමුගේ ගෝලයෝ රොත්ත ඉන්න එපායැ. අනුර රනිල් ගෝලයා. නමුත් ඔය පාර්ලිමේන්තුවට ලියුමක් බාරදීපු පමණින් එය බහුතරයක් බවට පත්වෙන්නේ නෑ. ඔය ලියුමට අත්සන් කරපු බොහො දෙනා ඉදිරියේ දි අපිත් එක්ක නියත වශයෙන් එකතුවෙන්න සූදානම් උදවිය’’ යැයි ද කීවේ ය.

