‘මගේ සහෝදරයාත් දේශපාලනය ගැන කල කිරිලා’


 

ආදරණීය බව, තාරුණ්‍යයේ පෞරෂත්වයට මුසුකල පිරිපුන් හඬ නිසාම කිත්සිරි ජයසේකර නමැති ඔහු බොහෝ දෙනා අතර සමීප රුවක් වූවේය. ගීතයේ අලූත් - අලූත් දේ අත්හදා බැලීම් කළ කිත්සිරි හෙවත් බොහෝ මිතුරන් ආදරයට අමතන ‘‘කිත්තා’’ මේ දිනවල පදිංචිව සිටින්නේ තම ආදරණීය මව් බිමේ නෙවෙයි. සීතල ඊතල වගේ සිරුරට කා වද්දන සීතල කැනඩා දේශයේයි. පසුගිය මාර්තුවෙ කිත්සිරි තම සදාදරණිය බිරිඳ උපේකා සහ දරු දෙදෙනා සමග කැනඩාවට පදිංචියට ගියේය. ඇත්තටම ඇයි ඔහු කැනඩාවට ගියේ? එහි සිට අලූත් වැඩක් කරන්න යනවා කියලත් ආරංචියි. මේ කැනඩාවේ සිටින කිත්සිරි ‘සැඳැල්ලට’ විශේෂයෙන් ලබා දුන් පිළිසඳරකි.

 

 

 කිත්සිරි ඇයි කැනඩාවට ගියේ?

උපේඛාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගියේ. දරුවන්ගෙ අනාගත දියුණුව ගැනත් හිතුවා. මටත් සංගීතයේ නව ප‍්‍රවණතාවයන් ගැන හදාරන්න  ඕනෑ වුණා. විශේෂයෙන්ම සංගීත චිකිත්සාව සම්බන්ධයෙන්. ඒ සියල්ල නිසා අපි පවුලම මෙහෙට ආවා.

 

 දැන් කොහොමද ජීවිතේ? වඩා හොඳ ලංකාවද? කැනඩාවද?
නිදහස අතින් කැනඩාව ඉතාම හොඳයි. මිනිසුන්ට ජීවත්වීම බරපතළ නැහැ. ඔවුනට ජීවිතය ලැබී තිබෙනවා. මෙහේ අධ්‍යාපනයත් ඉතා ක‍්‍රමවත්. දරුවකු පාසලකට ඇතුළත් කිරීම තමයි පහසුම දේ. ඔවුනගේ ඉදිරි අධ්‍යාපනයට සෑම පහසුකමක්ම මෙහේ තියෙනවා.

 

 කැනඩාවේ ගෙවන ජීවිතයට උපේඛා කැමතිද?
එයා ලංකාවේ සරසවි පද්ධතිය ගැන කළකිරිලා හිටියෙ. අපේ රටේ සිටිය යුතු වටිනා මිනිස් සම්පතක් මේ රටේ ජීවත් වෙනවා. ඇය උගත් දෙයින් මේ රටේ සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ගැන ඇය හරි සතුටින් සිටින්නේ.

 

 ප‍්‍රසංග වේදිකාවෙන් ඈත්වෙලා සිටීම ඔබට ගෙන දෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
මේ වන විට අපි ප‍්‍රසංග තුනක් මෙහේ පැවැත් වූවා. මෙහෙට දැන් ශීත කාලයයි. ඉදිරියේදී තව ප‍්‍රසංග කීපයක්ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. උපේඛා මම එක්ව මෙහේ දරුවන්ට සංගීත සහ නර්තනය පිළිබඳව දැනුම ලබා දෙනවා. අපි දෙන්නා සංගීත පාසලක් ආරම්භ කළා. මෙහි සිටින සිංහල දරුවන් විශාල පිරිසක් අපෙන් හැදෑරීම් කරනවා. හඬ පුහුණුව සඳහා වැඩිහිටියනුත් සහභාගි වෙනවා.

 

​ ඔබේ සහෝදරයා වන දයාසිරි ජයසේකර වගේ ඔබත් දේශපාලනයට ඒමේ අදහසක් තිබෙනවාද?
දේශපාලනයට එන බවට පසුගිය කාලයේ රාවයයක් තිබුණා. එක්තරා වෙබ් අඩවියකත් ඒ ගැන පළවෙලා තිබුණා. මට හිතෙන විදියට මගේ සහෝදරයාටත් දේශපාලනය ගැන තියෙන්නෙ ලොකු කළකිරීමක්. එහෙව් එකේ මට දේශපාලනයට එන්න අදහසක් නැහැ. නමුත් පැහැදිලි දර්ශනයක් ඇති විනයගරුක, ප‍්‍රතිපත්තිගරුක නායකයෙක් යටතේ අනාගතයේ දේශපාලනයට එන්නත් බැරි නැහැ.

 

​ ලංකාවට එන්නෙ කවදද?
ඇවිත් යන්න ඒවි. මගේ අලූත් නිර්මාණ එකතුව එළිදැක්වීමට මේ දිනවල කටයුතු යොදනවා. ලංකාවේ ප‍්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් සමග මේ ගැන කතා කරලා ඉවරයි. අපේ ජනතාවට එය අලූත් අත්දැකීමක් වේවි. තුන් ඈදුරු නිර්මාණයක්. හරිම වෙනස් අලූත් අත්හදා බැලීමක්. සමහර විට යුග ගායනයට බටහිර ගායිකාවක් එක්වේවි. ඔවුනුත් අපේ සිංහල බසින් ගයාවි.

 

 කවුද ඔබ එක්ක යුග ගී ගයන බටහිර ගායිකාව?
ඒක රහසක්.

 

 මී පැණි රහසක් ගැලූවා සුකිරි කන්දෙන් !” ඒ ගීතය වගේ රහසක්ද?
ඊට වඩා වෙනසක් මේ ගීත එකතුවේ තියේවි.

 

 එංගලන්තයේ ප‍්‍රසංගයක් කිරීමටත් සූදානමින් ඉන්න බව ආරංචියි?
එහෙම අදහසකුත් තියෙනවා.

 

 කොහොමද විවේකය ගෙවන්නෙ?
ලංකාවේ වගේ ප‍්‍රශ්න ඔළුවෙ නැහැ. මොනතරම් වැඩ කළත් වැඩ කරන වෙලාවට වැඩ. අනෙක් වෙලාවට පුදුම විවේකයක් දැනෙන්නෙ. මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් අපට ගොඩක් ආදරෙයි. ඔවුන් එක්ක ගෙවන ජීවිතය හරිම ප‍්‍රබෝධමත්.

 

​ මොනවද ලංකාවේ රසිකයින්ට කියන්න තියෙන්නෙ?
අපට අපේ දරුවන්ට ආදරය කළ දෙමාපියන්ට සහෝදර, සහෝදරියන්ට හැමෝටම සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා. වසර අවසන දැවැන්ත ප‍්‍රසංගයක් එක්ක අපි හමුවෙමු.