‘මගේ පුතාගේ අවමඟුල කරගෙන යන්නත් අමාරුයි’


 ‘රැකියාවක් නැති නිසා මගේ ලොකු පුතා   වැලිවේරියේ  ඇඟළුම් කම්හලක  රැකියාවකට ගියා ඔහු  මාස නවයක  දරුපැටියෙක්ගේ පියෙක්.’

වැලිවේරිය උද්ඝෝණයේදී  වෙඩි වැදී මිය ගිය ගම්පොළ  කුරුඳුවත්ත කොලුවල නිලන්ත පුෂ්පකුමාර (27) මහතාගේ පියා  පී ආර් පී ධර්මසේන මහතා පැවසීය.

නිලන්තගේ මව කිසිවක් කතාකරගත නොහැකිව ශෝකයෙන් වැළපෙමින් උන්නාය. විපත ආරංචි වු  ප්‍රදේශවාසීහු  විශාල පිරිසක්ද නිවසට පැමිණ සිටියහ.

කොළඹ ජාතික රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු නිලන්ත  අද දහවල්  මිය ගියේය.

මට දරුවන්  තුන් දෙනෙක් ඉන්නවා  ඔහු  රැකියාවක් නැතිව නිවසේ බොහෝ කාලයක් සිටියා . අනතුරක් සිදුවීමෙන්  මමත් වසර 10 ක් එක්තැන් වි සිටියා.ආර්ථික අමාරුකම් නිසා පුතා විවිධ රැකියා කළා.සුළු වැටුපෙන් පුළුවන් විදියට අපට සැලැකුවා.

පුතා ඇගළුම් කම්හලේදි හදුනාගත්  දියණියක් සමග  විවාහ වුණා.  පුතාට මාස නවයක  දරුවෙකුත් සිටිනවා.ජීවීතය ජයගන්න පුතා බොහෝ වෙහෙසුනා.

ඔහු රැකියාවට ගියේ වැලිවේරියේ  බෝඩ්මක නතර වෙලා  පුතා බසය එනතුරු  බස් නැවතුමේ සිටියදී  වෙඩි වැදී තිබෙනවා. පසුව අපට අනතුර ගැන වැලිවේරිය පොලීසියෙන් දැනුම් දුන්නා. කොළඹට එන විට පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැර සිටියා. මුදල්  හදල් හිග නිසා පුතාගේ අවසන් කටයුතු කිරීමත් ප්‍රශ්නයක් වෙලා.’