රංග ශිල්පිණී නයනා කුමාරිටත් හිතෙන්නෙ හරි අපූරු වැඩ කරන්නයි. ඔන්න, දැන් එයත් සූදානම් වන්නෙ ප‍්‍රසංගයක් ඉදිරිපත් කිරීමටලූ. නයනා මේ කරන්න සූදානම් වන අලූත් වැඬේ මොකක්ද? ස්නේහා (හිරු) රිදීපහන් (දෙරණ) දිරියදෝණි (රූපවාහිනිය) නාට්‍ය සමඟ ආලින්දයට එන නයනා ඒ ගැන සහ ඇයගෙ අනෙකුත් වැඩ කටයුතු ගැන විස්තර කිව්වෙ මේ විදියටයි.
නයනා ඔක්කෝටම කලින් කිව්වොත්, ස්නේහා, රිදීපහන් සහ දිරියදෝණි චරිත අතරින් ඔබ කැමතිම චරිතය මොකක්ද?
මේ චරිත එකිනෙකට හරි වෙනස්. ඒ අතරින් දිරියදෝණි චරිතය මට අමුතුම අත්දැකීමක් වුණා. මොකද මම එහි රඟපාන්නෙ වින්නඹු මාතාවකගේ චරිතයක්. ඒ විදියට විවිධාකාර වූ හොඳ චරිත තමයි මට නිරන්තරයෙන්ම ලැබුණේ. ඒ හින්දාම මේ දක්වා ආපු ගමන ගැන හරිම තෘප්තිමත් වෙනවා.
ඔබ වඩා කැමති මොන නමටද?
කුමාරි කියලත් සමහරු කියනවා. නයනා කියලත් කියනවා. සැමියා සුමිත් නම් කියන්නෙ ”නයෝ” කියලයි.
මොකක්ද ”නයනා” මේ කරන්න හදන අලූත් වැඩය?
මගෙයි - ගයාත‍්‍රිගෙයි කාලයක් හිතේ තිබුණු ආසාවක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම. බොහෝ වෙලාවට අපි දකින්නෙ නළු නිළියන්, ගායක - ගායිකාවන්, එයාලගෙ විවිධාකාරවූ දක්ෂතා ඉදිරිපත් කරන අවස්ථා. නමුත් එයාලව වගේම සමාජයේ බොහෝදෙනා හැඩකරන රූපලාවන්‍ය ශිල්පී, ශිල්පිණියන් එයාලගෙ අනෙකුත් දක්ෂතා ඉදිරිපත් කරනවා අපි දැකලා තිබුණෙ නැහැ. එයාලටත් ලස්සනට නටන්නට, ගයන්නට, වයන්නට පුළුවනි. ගයාත‍්‍රියි - මමයි රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ අය. ඉතින් අපට මේ අදහස ඇවිත් ටික කාලයක් වෙනවා. දැන් අපි සූදානම් වන්නෙ මේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ නමක් දිනූ 75 දෙනෙක් පමණ සහභාගී වන ප‍්‍රාසාංගික ප‍්‍රසංගයක් කිරීමටයි. ඒක තමයි අපි දෙන්නගෙ අලූත්ම කටයුත්ත. එළැඹෙන ජූලි හෝ අගෝස්තු වලදී මේ ප‍්‍රසංගය කොළඹ දී පැවැත්වීමට දැන් කටයුතු සූදානම් කරමින් සිටින්නෙ.

කලාව හැර පුද්ගලික ජීවිතයේ විස්තර කිව්වොත්?
සුමිතුයි මායි පුතයි. අපේ කැදැල්ල පුංචියි. පුතාට දැන් අවුරුදු 9 යි. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා. පුතා ශිෂ්‍යත්වයට සූදානම් වෙනකල් මම කොළඹින් පිට කලා කටයුතු වලට නොගිය තරම්. ඉතා හොඳ අවස්ථා ලැබුණත් ඒ වැඩ වලින් ඈත්වෙලා හිටියා. ඒත් දැන් පුතා ලොකු නිසා ටික ටික වැඩවලට මම සම්බන්ධ වෙනවා.
නයනා ”හරි හැඩවෙලා” කියලා බොහෝ අය කියනවා නේද?
මම සැලෝන් එකේ වැඩත් එක්ක නියැලී සිටින නිසා අනෙක් අය ලස්සන කරන අතරේ පෙරට වඩා දැන් මම මගේ ගැනත් හිතනවා. අපි එහෙම හිටියොත් තමයි තව කෙනෙකුටත් එහි අගය තේරුම් කර දෙන්න පුළුවන්. අනික් අය ලස්සන කරන්න නිහඬව ලොකු සේවයක් කරනවා කියලා හිතනවා.
මේ විදියට ඔබ ලස්සන වෙන්නෙ එයින් වෙළඳ වටිනාකමක් ලබාගන්නද?
රූපය ගැන හිතන්නට පෙර මම මගේ නිරෝගීකම ගැන හිතන්න වෙනවා. මූලිකවම මම හිතන්නෙ ඒ ගැනයි.
ඔබ මොන දේ කළත්, ගයාත‍්‍රිවත් එකතු කරගෙන තමයි, කරන්නෙ. ඇයි ඒකට හේතුව?
ගයාත‍්‍රි මගේ හොඳම මිතුරියක්. ඒ මිත‍්‍රත්වයට අවුරුදු 16 ක් විතර වෙනවා. මේ යාළුකම එක්ක අපි දෙන්නට දෙන්නගෙ පවුල් ජීවිත වගේම වෘත්තීය ජීවිතත් සාර්ථක කරගන්න පුළුවන් වුණා. මගේ දැනුම එයා ලබාගත්තා. එයාගෙ දැනුම මම ලබාගත්තා. අපි දෙන්නගෙම දැනුම අත්දැකීම් මුසු කරලා අපි වෘත්තීයට එය ආලෝකයක් කරගත්තා. රටේ මිනිස්සු ඒකයි අපි දෙන්නගෙ මිත‍්‍රත්වය ගැන කතා කරන්නෙ.
හොඳ ගැන විතරමද රටේ මිනිස්සු කතා වන්නෙ?
හොඳ දේ හොඳමනේ. කොහේ හරි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි දෙන්නට ආරාධනා ලැබෙනවා. රටේ ඉහළම පෙළේ උත්සව වලට අපට ආරාධනා ලැබෙනවා. කාන්තාවන් ලෙස අපි අනෙක් අය අගය කරමින් සමාජයට යමක් දුන් නිසා නේද එහෙම වෙන්නෙ. මිත‍්‍රත්වයේ ශක්තියෙන් මොන තරම් දේ කළ හැකිද?
ඇයි දෙන්නම එකට රඟනොපාන්නෙ?
මුලදී අපට එහෙම අවස්ථා ලැබුණා. නමුත් පසුව දෙදෙනාම නාට්‍ය බාරගන්නා විදියට කාලය හරස් වුණා. නමුත් මෑතකදීත් ”පබළු” නාට්‍යයේ අපි දෙන්නටම කතා කරලා තිබුණා. ඇත්තටම අවස්ථා ලැබුණොත් අපි බාර ගන්නවා.


