විහාර දේවාලගම් පනත සම්මත කිරීමට රජය උත්සාහ කරන්නේ රටේ භික්‍ෂූන් වහන්සේලා රජය යටතේ පාලනය කිරීමට යැයි ඉනාමළුවේ ශ්‍රී සුමංගල රංගිරි දඹුලු රජමහා විහාරාධිපති සියම්මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානාහිමියෝ පැවසූහ.
රජය කඩිනමින් කළ යුත්තේ විහාර දේවාලගම් පනත සම්මත කර ගැනීම නොව කතිකාවත් සම්මත කර දීම බව නාහිමියෝ අවධාරණය කරති.
කොළඹ දී ශ්‍රී ලංකාවේ සියලුම භික්‍ෂූන් වහන්සේලා නියෝජනය වන පාර්ශ්වයන්හි ලේඛකාධිකාර හිමිවරුන් කැඳවා බුද්ධශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම් පනත සම්මත කර ගැනීමට කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කර තිබෙන බවත් එහිදී උන්වහන්සේලා එකහෙළා ඊට විරෝධය ප‍්‍රකාශ කර යම් යම් සංශෝධන ඉදිරිපත් කර නික්ම ගොස් ඇති බවත් මහනාහිමියෝ පෙන්වා දෙති.
‘මෙම පනත ක‍්‍රියාත්මක කිරීමෙන් භික්‍ෂූ බලාධිකාරියක් ගොඩ නැඟෙනවා. ඉංග‍්‍රීසි ආණ්ඩුවටත් වැඩිය ආණ්ඩුවේ දැඩි පාලනයට භික්‍ෂූන් වහන්සේලා නතු කරගන්න උත්සාහ කරනවා. ඇයි රජයට බැරි සංඝ කතිකාවන් සම්මත කරලා දෙන්න. සුද්දන් හදපු විහාර දේවාලගම් පනතක් කරේ තියාගෙන යන්න හදන්නේ ඇයි කියලා අපිට හොඳට තේරෙනවා. ඒක හදලා තියාගත්තාට කමක් නැහැ. හැබැයි ඊට කලින් කතිකාවන් සම්මත කරලා දෙන්න.
ඉංග‍්‍රීසින් විසින් ඔය පනත් හැදුවේ නීතිවේදී මන්ත‍්‍රණ සභාවක් මගින්. ඒත් දැන් මේක හදලා තියන්නේ ඡන්දෙකින් පත්වෙලා ඉන්න දේශපාලඥයෙක් විසින් පත්කරන නිලධාරියකුයි ලිපිකාරිනියන් කීපදෙනකුයි එකතු වෙලා. එහෙම කාටවත් මේ රටේ මහා සංඝයා වහන්සේලා පාලනය කරන්න ඉඩ දෙන්න බැහැ‘ යැයි මහනාහිමියෝ කීහ.

