‘භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත් බව කියනු ඇසුණා‘


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා දුමින්ද සිල්වාත් වෙඩි තබා ගත් බව මුල්ලේරියාව රාහුල විදුහල අසල රැස්ව සිටි පිරිසක් කියනු ඇසුණු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් දමිත් සුරංග කුමාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් අද පැවසීය.

ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු මරා දැමීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටී.

නඩුවේ 10 වැනි සැකකරු නාමැතිව නඩුව විභාග විය. ඔහු පරීක්ෂණය අතරතුරදී ඝාතනයට ලක් විය.

දුමින්ද සිල්වාත් අධිකරණයට පැමිණ සිටියේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ විත්ති වාචකවලට පෙනී සිට උත්තර දීමේ හැකියාව දුමින්ද සිල්වාට ඇත්දැයි සොයා බලන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කැරිණි.

ඉන් පසු සාක්කි කැඳවිණි.

සුරංග කුමාර මුලින්ම සාක්කි දෙමින් ඔහු මුල්ලේරියාව රාහුල විදුහල අසළ 2011 ඔක්තෝබර අට වැනිදා පළාත් පාලන ඡන්ද රාජකාරියට ගිය බවත්, ගැහැණු පිරිසක් එතැන රැස්ව සිටි බවත්, පිස්තෝල හා ටී 56 අවි ඇතැමුන් අත තිබූ බවත් කීවේය.

ඒ අවස්ථාවේදී එතැනට ඩිෆෙන්ඩර් රියක් පැමිණි බවත්, දුමින්ද සිල්වා ද එහි සිටි බවත්, එතැන සිටි ගැහැණු පිරිසකට පහර දෙනු දුටු බවත් ඔහු කීවේය.

භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත්තේයැයි එතැන සිටි පිරිසක් කියනු ඇසුණේ යැයි ද ඔහු සඳහන් කරයි. එම ඩිෆෙන්ඩර් රියේ පැමිණි පිරිස උසාවියේ සිටීදැයි ප්‍රශ්න කළ විට ඔහු කීවේ ඔවුන් උසාවියේ නැති බවයි.

වැඩිදුර විභාගට අගෝස්තු දෙවැනිදාට කල් තැබිණි.