රජය ගෙන එන බෞද්ධ කතිකාව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් සංඝයාවහන්සේ පාලනය කරනු ලැබීමක් සිදු නොවන බවත් එයින් සිදුවන්නේ මහනායක හිමිවරුන්ට හා ඒ ඒ නිකායන් වල සංඝ කාරක සභා වලට සංඝයා පිළිබඳ තීරණ ගැනිමේ බලයක් ලබා දීම බව පාර්ලිමේන්තු සභා නායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා මහනුවරදී පැවැසිය.
‘සමහරු බෞද්ධ කතිකාවත ගැන සමාජයට වරදවා කරුණු ඉදිරිපත් කරනවා. අද රටේ පවතින නීතිය හැටියට මහනායක හිමිවරුන්ට හා සංඝ සභාවලට බලයක් නෑ එම නිකායවල් වල ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න, එම නිකායවල් පාලනය කරන්න නෛතික බලයක් නෑ. අපි අපේ බෞද්ධ කම සිංහල කම ගැන ආඩම්බර වෙනව වගේම අනික් ආගම් හා ජාතින් ගැන අනුකම්පා කරල මේ රටේ ආගමික නිදහස තහවුරු කරන්න ඕන. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තමුන්ගේ ආගම ඇදහිමේ නිදහස වගේම අනිකුත් ජාතීන්ට ආගම් ඇදහිමේ නිදහස තිබිය යුතුයි කියල.‘ යැයිද කිරිඇල්ල මහතා කීය.
අපේ රටේ බෞද්ධ කම ආරක්ෂා කරන්න වගකීම ඇත්තේ බෞද්ධ ජනතාවට බවත් රටේ සිංහලකම බෞද්ධකම ආරක්ෂා කරන්න වත්මන් රජය කැප වනවා සේම අපේ සිංහල බෞද්ධ ජනතාවත් අන් ආගමික නිදහස ලබාදිමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය වරයා පැවසිය.

