1999 කොළඹ නගර ශාලාවේ බෝම්බ ප්‍රහාරයෙන් පසු හිටපු ජනපතිනි කුමාරතුංග මහත්මියගේ මොළයට තවත් මිලිමීටරයකින් හෝ බෝම්බ කෑලි ගියේ නම් ඇගේ තත්ත්වය බරපතල විය හැකිව තිබිණැයි අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර චරිත් ෆොන්සේකා කොළඹ මාහාධිකරණයේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා ඉදිරියේ වෛද්‍යවරයා සාක්කි දුන්නේය.
සිද්ධිය වූ දින රාත්‍රියේ හිටපු ජනපතිනිය පරීක්ෂා කිරීමට කොළඹ ජාතික රෝහලෙන් තමා කැඳවූ බව කී දොස්තර ෆොන්සේකා ඒ වන විට ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වන ජේ බී පීරිස් හා කොල්වින් සමරසිංහ මහත්වරුන් ඇය පරීක්ෂාකිරීමට පැමිණ සිටි බව කීවේය.
ඇගේ දකුණු ඇස තුවාල වී තිබිණැයි කී වෛද්‍යවරයා එය දරුණු තුවාලයක් බව සඳහන් කළේය.
ඇගේ එම ඇස අන්ධ වී තිබිණැයි ද, වෛද්‍යවරයා විශේෂ උපදෙස් පතා ඇය ලන්ඩනයට ගිය බව ද සඳහන් කළේය.
විත්තියේ නීතීඥවරුන් ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.
ඔවුන් ඉල්ලා සිටියේ පළමුවැනි විත්තිකරු රඝුපති ශර්මා හා ඔහුගේ බිරිය යාපන සිර ගෙදරට මාරු කරන ලෙසයි. ඔවුන්ගේ දියණියට ඔවුන් බැලීමට හැකි බව ද ඔවුහු කීහ.
මේ ඉල්ලීම බන්ධනාගාර අධිකාරියට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරයා කීවේය.
රඝුපති ශර්මා, වේලායුදන් උදයරාජා හා චන්ද්‍රා ශර්මා චෝදනා 190ක් යටතේ මේ නඩුවට මුහුණ දෙති.
26 දෙනකු මරණයට පත් වූ මේ බෝම්බ ප්‍රහාරයේදී සියයකට වැඩි පිරිසක් තුවාල ලදහ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ජනාධිපති ඡන්ද රැස්වීමක් අමතමින් සිටියදී මරාගෙන මැරෙන කොටි කතක බෝම්බයක් පුපුරවා ගත්තාය.
වැඩිදුර විභාගය ජූනි 19 වැනිදාට කල් තැබිණි.