‘බුද්ධගයා මහාබෝධි විහාරයට කිසිම හානියක් නෑ‘


ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහහෝබෝධි විහාරය අවට කුඩා බෝම්බ පහක් ද, ජපන් පන්දසල අසල එක් බෝම්බයක් ද, තවත් ස්ථානයක බෝම්බ තුනක් ද පිපිරී ගිය නමුත් ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් කිසිවකුටත් හානියක් නැතැයි බුද්ධගයා මහාබෝධි විහාරයේ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ ලංකාදීප එසැණට පැවසූහ.

‘පාන්දර 5.30ට විතර මේ බෝම්බ පිපිරුණේ. විහාරය අවට පහන් පත්තු කරන ස්ථානයේ, රුවන් සක්මන හා රුවන් ගේ අවට කුඩා බෝම්බ පහක් විතර පිපුරුණා. ඒ වගේම ජපන් පන්සලේ සහ තවත් ස්ථානයකත් පිපිරුණා.

මේ පිපිරීම්වලින් ටිබෙට් සහ බුරුම හිමි දෙනමකට සුළු තුවාල වුණා. ලංකාවේ කිසිවකුටත් හානියක් නෑ. විහාරයටත් ලොකු හානියක් වුණේ නෑ. වීදුරු දෙකතුනක් හානි වුණා පමණයි.

ලංකාවෙන් වන්දනාවේ ආ 25 දෙනකුගෙන් යුත් නඩයක් බුද්ධගයාවට ගිහින් හිටියා. එයාල දැන් අපේ පන්සලේ ඉන්නවා. කිසිම ගැටළුවක් නෑ.

ආරක්ෂක අංශවලින් ඇවිත් තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කළා. දැන් ගැටළුවක් නෑ.

මේ ආරක්ෂාව තර කර තිබෙනවා. ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන නිසා තවම ඇතුළට යන්න දෙන්නේ නෑ.‘

මෙම පිපිරී ගිය බෝම්බ අඩු පීඩන බෝම්භ බවත්, පන්සලේ බුදු ගෙට හානියක් නැති බවත් බිහාර පොලිසිය කියයි.

මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත් බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසයි.

මෙම බෝම්බ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයක් බව ඉන්දියා රජය කියයි. බිහාර් මහ ඇමැති නිටිෂ් කුමාර් ද සිද්ධිය සැලවූ වහාම එහි ගියේය.

මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී එස් කේ බාරද්වාජ් කියයි. එහෙත් ඔහු විස්තර හෙළි කළේ නැත. විහාර භූමියට පිට අය පැමිණීම වළක්වා ඇති බවත්, ප්‍රදේශයේ සෙසු ආගමික ස්ථාන ආරක්ෂාවද තර කළ බවත් පොලිසිය කියයි. බිහාර් පොලිසියේ විශේෂ පොලිස් බලකාය මහා බෝධි විහාරයේ ආරක්ෂාව බාර ගත්තේ ගිය වසරේය. පසුගිය ජූනියේ පෙරහුරු පොලිස් අභ්‍යාසයක් ද එහි සිදුවිය.  දකුණු පැට්නා නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි බුද්ධගයාව ශ්‍රී ලංකාව, මියන්මාරය , ජපානය, තායිලන්ත වැනි රටවල බෞද්ධයන්ගෙන් පිරී පවතී.

වන්දනා සමය ඇරැඹෙනුයේ සැප්තැම්බර මාසයේදීය.