‘බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ යුද අපරාධ වලට හවුල්‘


ඉරාක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය හමුදාව බරපතල යුධ පරාධ සිදු කර ඇතිබවට චෝදනා එල්ලවන වාර්තාවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතිබව බ්‍රිතාන්‍යයේ පුවත්පත් කියයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති  පිටු 250කින් සමන්විත මෙම සවිස්තරාත්මක වාර්තාවට අනුව ඉරාකයේ සේවය කළ බ්‍රිතාන්‍ය හමුදා අමානුෂික පහරදීම්,විදුලිසැර යොදාගනිමින් වධ හිංසා කිරීම්, ලිංගික අපචාර සහ වෙනත් අන්දමේ මානසික සහ ශාරීරික වදහිංසා බොහෝ ගණනක් සිදුකර ඇතිබව පෙනී යන බව දැක්වෙයි.

මෙම වාර්තාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවහොත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයන්හි ඉහළම මට්ටමේ නිලධාරීන්හට " ක්‍රමානුකුලව යුද අපරාධ සිදුකර ඇති බවට " බරපතල චෝදනාවන්ට මුහුණ දීමට සිදුවන බවද එම පුවත්පත් වාර්තාව එළි කරයි.

2003 සිට 2008 දක්වා ඉරාකයේ සිදුකල සංවිධානාත්මක යුධ අපරාධ සම්බන්ධ වගකීම පැවරෙන චුදිකයන් ලෙස නම්කර ඇත්තේ බ්‍රිතාන්‍ය යුධ හමුදාපති පීටර් වෝල්, හිටපු ආරක්ෂක ලේකම් ජෙෆ් හූන් සහ හිටපු ආරක්ෂක අමාත්‍ය ඇඩම් ඉන්ග්රම් යන තිදෙනාය.

යුධ අපරාධ පිලිබඳ වාර්තාවෙහි අනෙක විධ වධ හිංසාවන්ට මුහුණදුන් 400ක් පමණ වූ ඉරාක ජාතිකයින් ඉදිරිපත්කළ කරුණු ඇතුළත් වෙයි.

2003 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය හමුදාවන් ඉරාකය ආක්‍රමණය කළේය.