අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩ දී මිය යෑමේ සිදුවීමේ පරීක්ෂණ පවත්වද්දී පොලිසියෙන් අඩුලුහුඬුකම් සිදුවී ඇතැයි රහස් පොලිසිය අද (08) ගම්පහ අතිරේක මේහ්ස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා හමුවේ පැවසීය.
අන්තරයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඉදිරිපත් කළ විරෝධතාවලට පිළිතුරු දෙමින් රහස් පොලිසිය එසේ කීවේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියයට හයේ වෘත්තීය අරගලයට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණඩලය පා ගමනක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වූ බව අධිකරණයේ දී කියැවිණි.
මිය ගිය එක් සිසුවෙකුගේ නළලේ හිල් දෙකක් ඇති බව නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළාය. ඔහු වැටී සිටි ස්ථානයේ උල් නොතිබූ බව කී නීතීඥවරිය එසේ නම් නළලේ හිල් දෙකක් ඇතිවූයේ කෙසේදැයි ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කීවේ මෙම මරණ රිය අනතුරකින් නොවූ බවට සැකයක් නැතැයි අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ රජයේ රස පරීක්ෂක වාර්තා කර ඇති බවයි.
මිය ගිය සිසුවකු පාන්දර දෙකයි තිහට පමණත් පාදයක් සොලවනු දුටු බවට රහස් පොලිසිය සාක්කි සම්පිණ්ඩන මගින් වාර්තා කර ඇති බව ද, එසේ නම් උදේ 7.30 වනතුරු සිට මිනී කාරයකින් සිසුන් රෝහලට ගෙන යෑමට පොලිසිය කටයුතු කළේ ඇයිදැයි සැක සහිත බව ද නීතීඥවරිය කීවාය.
සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඒ අනුව පැමිණිල්ල පෙබරවාරි 28 වැනි දාට කල් තැබිණි.
සිදුවීමට දැන් වසර ගණනාවක් ගත වි ඇති නිසා දීර්ඝ නඩු දිනයක් ලබා දුනහොත් තවදුරටත් සාක්කි විනාශ විය හැකි බැවින් කෙටි දිනයක් ලබා දෙන ලෙස නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඉල්ලා සිටියාය. පැමිණිල්ල අඟහරුවාදා දිනයක යළි කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙබරවාරි හත් වැනිදාට නඩුව කල් තැබූ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා එදින සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.