‘පොලිසිය ඇවන්ගාඩ් නැවට පැන්නේ ලකුණු දාගන්නයි‘ - තිලක් මාරපන


ඇවන්ගාඩ් වැටලීම කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට යැයි නීතිය, මහජන සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘මේකේ ආයුධ හංගගන නොවෙයි හිටියේ. හැමදාම ඒවා පරිහරණය වෙනවා. 2002 ආණ්ඩුව මාරු වුණ ගමන් පොලිසිය ලකුණු දා ගන්න මිලේනියම් සිටි කළා වගේ මේකත් මේ ආණ්ඩු මාරු වුණු ගමන් පොලිසිය ගිහින් පැන්නා ලකුණු දා ගන්න. ඒකයි යතාර්ථය.‘ යැයි ද ඇමැති කීවේය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ ද එම අමාත්‍යංශයට ය. ඇවන්ගාඩ් ආයුධ නැවේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් ද, ජනපති විශේෂ විමර්ශන ඒකකයෙන් ද පරීක්ෂණ පැවැත්වෙයි.

මේ අතර සජින් වාස් ගුණවර්ධන මහතා රජයේ සාක්කිකාරයකු වූයේ මොන නඩුවක දී දැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය. මේ ආණ්ඩුව ද දූෂිතයන් ආරක්ෂා කරන බව කී දිසානායක මහතා පොලිසිය භාර ඇමැතිකම ළමයකුට දෙන්නැයි පැවසීය.