‘පුතාගේ ප්‍රශ්නයට අගමැති කමත් පටලවාගෙන‘


තම පුතාට ඇප ලබාගැනීමට පැය අටක් කල්කුඩා පොලිසියේ ගත කළ බවත් පොලිසියට කිසිම බලපෑමක් නොකළ බවත් එහෙත් ලංකාවේ සියලුම පුවත්පත් වල එම සිද්ධිය මුල් සිරස්තලය සේ පළවූ බවත් එසේ සිදු වූයේ කෙසේ දැයි තමා දන්නා බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ විජේරාම මාවතේ නිල නිවසේ කොරිඩෝවේ දී පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කෙළේය.

‘මා අගමැතිකම පරිත්‍යාග කළ මිනිහෙක්. මගේ පුතාගේ සිද්ධියට අගමැති කමකුත් පටලවාගෙන මගේ ප්‍රතිරූපය නැති කරනවා‘ යැයි ද ඔහු කීවේය.

ඔහු චෝදනා කරන්නේ රජයට දැයි මාධ්‍යවේදීන් ඇසුවිට ‘මටත් හිතා ගන්න බෑ‘ යනුවෙනි. කල්කුඩාවේදී ඇමැති පුත් දහම් සිරිසේන (20) නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ තම ප්‍රතිරූපය කෙළෙසීම සඳහා මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වන බවයි. එම කුමන්ත්‍රණය අසාර්ථක වුවහොත් තමා ඝාතනය කිරීම ඊළඟ පියවර බවත් තමාට දැනට ම මරණ තර්ජන එල්ලවී ඇති බවත් ඇමැති කීවේය. අර්නස්ට් හෙමින්වේ නම් ඇමරිකා ලේඛකයා ගේ කියමනක් උපුටා දක්වමින් ඇමැති සඳහන් කෙළේ ‘මිනිහකු පරාජය කළ නොහැකියි. එහෙත් විනාශ කළ හැකිය යන්න‘ මේ සිද්ධියේ දී පෙනෙන බවත් කොටි සංවිධාන පස් වතාවක් තමා මරන්නට හැදූ නමුත් අන්තිමෙදී කොටියන් විනාශ වූ බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනපති සමයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූයේ තමාගේ යෝජනවක් අනුව බවත් ඒ අනුව ඔහු ජනාධිපති වී කොටියන්ද පරාජය කළ බවත් ඇමැතිවරයා කීවේය. චන්ද්‍රිකා කුමාරතුංග සමයේ අගමැති පදවියට තිදෙනකුගේ නම් යෝජනා වි යැයි ද අනුර බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදීර්ගාමර් හා මෛත්‍රිපාල සිරිසේන එම නම් තුන යැයි ද ‘මෛත්‍රි මගේ මල්ලිට මම ඇගමැති කම දෙන්නේ කොහොමද‘ යනුවෙන් ඇය එදා ඇසූවේ යැයි ද අගමැතිකම් වලට සුදුස්සන්ගේ නම් යෝජනාකරමින් ජනතා විමුක්ති පෙරමුණෙ ලේකම් ටිල්වින් සිල්වා එදා ඉදිරිපත් කළ ලිපියක් ද පෙන්වමින් සිරිසේන මහතා කරුණු දැක්වීය.

මුහුදු වෙරළෙදි කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවා. ඒක එතැනින් ඉවරයි. මම කිසිම බලපෑමක් කෙළේ නැහැ. ඩී.අයි.ජීට මං කිව්වේ ඕනෑ විදියට පරීක්ෂණ කර ගන්න කියලයි. ඒ දරුවත් බලන්න මම රෝහලට ගියා. ඔහු කීවේ අංකල් කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි‘. ඇමැතිගේ පුතා ඇතුළු පිරිස නිරුවතින් සිටියේ දැයි ඇසූ විට ඔහු කීවේ  හැබැයි පොලිසියට පැමිණිලි දාන්න ගියාම දෙපැත්තම  කරන්නේ තමන්ගේ වාසිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම බවයි. ‘මා එහේ නොසිටි නිසා ඒ ගැන මට කියන්න බෑ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකින බව තමා විශ්වාස කරන බවත් ඒ අනුව හැම විටම ක්‍රියාකරන බවත් ඇමැති කීවේය.