‘‘අද පිල් මාරුව පාදඩ දේශපාලනයක් බවට පත් වෙලා. සල්ලි, තනතුරු, වරදාන හා වරප්‍රසාදවලට පිල් මාරු කරනවා. මගේ පියා ඇලික් අලුවිහාරේ පක්ෂය මාරු කළේ නැහැ. අපි පක්ෂය මාරු කරන බවට මාතලේ නියෝජ්‍ය ඇමතිවරයකු ප්‍රචාරය කරනවා. එය සම්පූර්ණ අසත්‍යයක්. අපේ පියාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෞරවයක් තියෙනවා. ඒ නිසා එතුමා ඔහුගේ සුව දුක් බැලීමට එනවා. නමුත් රජයට එක්වන ලෙස කිසි දිනෙක දන්වා නැහැ‘‘ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා මාතලේ මාධ්‍ය හමුවකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට වැඩ කළ පක්ෂයක්. මේ රට සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. අද විවෘත ආර්ථිකය ඇති කරලා අපි යම් දේවල් කළා. අද කෘෂිකර්මය අධ්‍යාපනය සෞඛ්‍ය ආදිය සැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. මේවා ගැන සොයන්න කවුරුත් නැහැ. අද සෑම කෙනෙක්ම මේ රටට ණය වෙලා. අද වන විට ආර්ථික වශයෙන් පිරිහීමට පත්වෙලා තියෙන්නේ. මේ තුළ තමයි ජිවත්වීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අද පළමු වසරට ළමයෙක් ඇතුළත් කරන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කටයුතු කරනවා. නමුත් ජනතාවට යහපතක් වෙලා නැහැ. මාර්ග කොන්ක්‍රිට් කරනවා. අධිවේගී මාර්ග හදනවා. නමුත් ඒවායින් විශාල වශයෙන් කොමිස් ගහනවා. අද සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමක් තියෙනවා. අද බඩු මිල වැඩි වෙලා. මිනිසුන්ට අද තුන්වේල කන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ නිසා පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා මේ රටට සමෘද්ධිමත් අනාගතයක් ඇති කිරිමට සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතු බවද අලුවිහාරේ මහතා පැවසිය.

