‘පැකර්ගෙ කැසිනෝවට ඉඩ නෑ : කාර් රේසුත් ඉවතට‘


ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන සුරාසල් එම ස්ථානවලින් වහාම ඉවත් කිරීමටත්, එම පූජා භූමි අවට කාර් රේස් පැවැත්වීම වහාම තහනම් කිරීමටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ය.

මෑතක දී වඩාත් කතා බවහකට ලක්වූ උපාය මාර්ගික පනත යටතේ බදු සහන ලබා දුන් කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ‘වෝටර් ෆ්රන්ට්‘ හා ‘ලේක් ලෙෂර්‘ කැසිනෝ බලපත්‍ර දෙ වහාම අවලංගු කිරීමට ද සිරිසේන මහතා යෝජනා කර ඇත.

විදේශ සේවාවට අනුයුක්ත කර ඇති සියලු දේශපාලන පත්වීම් හා ඥාතීන්ගේ පත්වීම් අවලංගු කර විදේශ සේවයට වෘත්තීය නිලධාරීන් හා සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් පත් කරන බවත්, ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාවලියට අදාළව මේ රටේ කිසිදු පුරවැසියකුට හිරිහැර කිරීමට හෝ අත තැබීමට හෝ කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ඉඩ නොතබන බවත් ඔහු කියයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට සුවිශේෂී පුනරුත්තාපන මධ්‍යස්ථාන පිහිටුවන බවත්, දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට අසූව දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියයි.

රටේ සිදුවන බව කියන මෙගා දූෂණය නවතාලීම මගින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීමට කටයුතු කරන බව කියන සිරිසේන මහතා මෙතෙක් කළ ව්‍යාපෘති ඇගැයීමට ලක් කර එහිදී සිදුවූ බව කියන තාක්ෂණික වංචාවලට වගකිවයුත්තන්ට දඩුවම් දෙන බව ද පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අයවැයෙන් දැනට වෙන් කරන සියයට 1.8 සියයට තුන දක්වා ඉහළ දැක්වීමට ද, රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකය රාත්‍රී 10 දක්වා විවෘත කර තැබීමට ද, නව ආයුර්වේද පනතක් ගෙන ඒමට ද සිරිසේන මහතා යෝජනා කර ඇත.

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදනයෙන් දැනට වෙන් කරන සියයට 1.7 ක ප්‍රතිශතය සියයට හය දක්වා වැඩි කිරීමටත්, මහපොළ රුපියල් පන් දහස දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබේ.