ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බරපතල අවධානමකට ලක්වී යහපාලනයේ මූලික පිළිවෙත් අහිමි වී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමට ඉක්මනින් දිනයක් දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පරුම, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ හා වාසුදේව නානායක්කාර මහත්වරු ලිපියක් මගින් ඉල්ලා සිටිති.
දේශපාලන පක්ෂ නායකයනට තම අදහස් බාදාවකින් තොරව පාර්ලිමේන්තුවේ කියා පෑමේ අවස්ථාව අහිමි වී පාර්ලිමේන්තු කමිටු සංයුතියේ බරපතල විකෘති ඇතිවී ව්‍යාපාර කමිටුව, රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාව (කෝප්), විගණන කමිටුව ආදියේ බරපතල විෂමතා ද හටගෙන ඇතැයි ඔවුහු කියති.
පෙර සිටි කතානායකවරුන්ගේ තීන්දු උල්ලංඝණය කරමින් කතානායක ක්‍රියාකරන බවත්, විපක්ෂයේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවලට තද බල අවධානමක් හට ගෙන ඇති බවත් ඔවුහු පවසති.
පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව ද අපහරණ වී ඇතැයි ද එමගින් ජනතා පරමාධිපත්‍යය පිළිස්සී ඇතැයි ද පසුගිය අගෝස්තු 17 වැනි දා පාර්ලිමේන්තු ඡන්දයෙන් මහජනයාගේ මතයට ද එයින් පහරක් වැදී ඇතැයි ද ඔවුහු සඳහන් කරති.
පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ සතියෙන් සතිය භයානක ලෙස සීමා වන බවත්, පාර්ලිමේන්තුව හා එහි කමිටුවලට ඇති මහජන විශ්වාසය වේගයෙන් සෝදා පාළු වී යන බවත්, එබැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට පිරිමැසිය නොහැකි හානියක් සිදු වන බවත් ඔවුහු කියති.

