‘ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කරනවා‘ - ඇමැති පාඨලී


(අකිල බද්දෙවිතාන)                      

පසුගිය මාර්තු 12 වන දා සිට සතියක් රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු වෙන් කිරීම සාර්ථක බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙය ක්‍රියාත්මක කර දෙවැනි දිනයේ ප‍්‍රතිඵලය දැඩි විවේචනයට ලක් වූ බවත් ඇතැමුන් මෙය අසාර්ථක යැයි හුවා දැක්වූ නමුත් මාර්තු 14 වැනි දා සිට 19 වැනි දා දක්වා මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය එම මාර්ගය භාවිත කරන සියලු දෙනාට දැක ගත හැකි වූ බවත් ඇමැතිවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. 
 
සාමාන්‍යයෙන් පැයට කි.මි. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක් මෙම කාලයේ දී 17 වැනිදා වන විට පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය වූ බවත් එම කාලසීමාවේදී සිදුකළ අධ්‍යනයේ වාර්තාවලට අනුව මාර්තු මස 14 වැනි දා නියමු ව්‍යාපෘති වපසරිය තුළ ගමන්ගත් බස්රථ 1,049 කින් මගීන් 32,650 දෙනෙක් ප‍්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 19,238 ක් වන කාර්, වෑන්, ත‍්‍රීවීල් සහ යතුරුපැදි එකතුවෙන් ගමන් පහසුකම් ලබාගෙන ඇත්තේ 28, 851 ක් පමණක් බවත් මාර්තු 15 වන දින වන විට බස්රථ 1,253 ක් දක්වා වර්ධනය වී මගීන් 42, 440 ක් සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා ඇති බවත් ඔහු කීවේය.
ඒ අනුව ප්‍රමුඛතා මංතීරු ක්‍රමය විධිමත් ලෙස ඉදිරි වසර ඇතුළත කි‍්‍රයාත්මක කරන බව ඇමැතිවරයා පැවසීය.