(ඩයනා උදයංගනී)
පැරණි ක‍්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර සෙසු සියලූම දේශපාලන පක්‍ෂ කැමැත්ත පළ කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වා ඉන්පසු පැවැත්වෙන සියලූ මැතිවරණ වෙනුවෙන් මිශ‍්‍ර ක‍්‍රමය යොදාගැනීම එම පක්‍ෂවල යෝජනාව බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය හැකි තරම් ඉක්මණින් පැවැත්විය යුතු නිසා එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව ද රාජිත සේනාරත්න මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ‘පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කුමන ක‍්‍රමයට ද’ යන්න පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ වන විට එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රීලනිපය මත දෙකක සිටින නිසා ආණ්ඩුවේ සියලූ පක්‍ෂ එක් මතයකට ගෙන ඒම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
සීමා නිර්ණය කමිටු වාර්තාවේ ඇති ගැටලූ නිරාකරණය කිරීම සඳහා පත් කළ කමිටුව ද තවත් මාස දෙකක් කල් ඉල්ලා ඇති බැවින් නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ගියහොත් තවත් කාලයක් ගතවෙනු ඇතැයි කී ඇමැතිවරයා දැනට ධූර කාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවද කීවේය.
ඒ අනුව බහුතර කැමැත්ත හිමිවන ක‍්‍රමය අනුව මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

