‘පවතින දේශපාලන ව්‍යාකූලත්වය මගහැරවීමට මහ මැතිවරණයකට යා යුතුයි‘


 (නිමල කොඩිතුවක්කු)    


පවතින දේශපාලන ව්‍යාකූලත්වය  ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ආකාරයෙන් විසදා ගැනීමට කිසිදු පාර්ශවයක් උත්සාහ නොකරන බැවින් ස්වාධීන සහ  මධ්‍යස්ථ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ  පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යොමුවීම ඒ සදහා ඇති සුදුසුම ක‍්‍රියාමාර්ගය වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද(28) පැවැසීය.


දේශපාලන කණ්ඩායම් අතර පවතින බල ගැටුම නිසා  රට තුළ තිබූ ආර්ථික, දේශපාලන අර්බුදය  තව තවත් උග‍්‍ර වෙමින් පවතින බවත් පෙන්වාදුන් දිසානායක මහතා බල ගැටුම වෙනුවට මැදහත් බළවේගයක් මේ රටට අවශ්‍ය බවද සදහන් කළේය.


ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව කොළඹ මහවැලි කේන්දු‍්‍රයේ පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා මෙසේද කීවේය.


    ‘‘රට තුළ ඇතිවෙලා තියෙන මේ ව්‍යාකූල තත්වය ඇතිවුනේ ඔක්තෝම්බර් 26 නෙමෙයි. මේක දීර්ඝකාළීන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක්. 1978 ජනසම්මතවාදී  නොවන හා හදිසි නීති රෙගුලාසි යටතේ  සම්මත කරගත්  තනිපුද්ගලයෙකු විසින්  සම්පාදනය කරගත්  ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  ප‍්‍රධාන වශයෙන්ම මේ ඇතිවෙලා තියෙන ව්‍යාකූල තත්වයට හේතුවී තිබෙනවා.


අනික්  පැත්තෙන් 19 වන  සංශෝධනය අපි සලකන්නේ  මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  වෙනුවෙන් එල්ල වුණු දැවැන්ත මරු පහරක් විදියටයි. මේක  එක්තරා ආකාරයකට පාර්ලිමෙන්තු සම්ප‍්‍රදායට කරපු හානියක් කියලා අපි දකිනවා.


ජනතාවගේ පරමාධිපත්‍යය,  ප‍්‍රජාතන්ත‍්‍රවාදය  සහ නිදහස  කියන දේ මේ බළපොරයට හසුවි සිටින  සියලූ පාර්ශව නොසලකා හරින බව අපිට පෙනී යනවා.
මේ බල පොරයට හවුල් වී සිටින  එක කණ්ඩායමක් අරලිය ගහ මන්දිරය අත්පත් කරගෙන සිටිනවා,  තව කණ්ඩායමක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන සිටිනවා,  තව කණ්ඩායමක් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන සිටිනවා.  තවත් කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටිනවා. 

 

මේ එක පාර්ශවයකවත් මේ අර්බුධය ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ආකාරයෙන් විසදා ගැනීමට  මහන්සි වෙන බවක් අපිට පෙනි යන්නේ නැහැ. ඒ නිසාම  රට තුළ තිබූ ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකූලතාවය  තව තවත් උග‍්‍ර වෙමින් තිබෙනවා. රටේ ජනයා පවතින දේශපාලන, ආර්ථික ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කිරිමකින් පසුවනවා.


ස්වාධීන සහ  මධ්‍යස්ථ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ  පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යා යුතුයි.  පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු  රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස  බරපතල ලෙස තහවුරු වෙයි  කියන විහ්වාසයක් නැහැ. එම නිසා අපිට දිගු කාළීන විසදුම්  අවශ්‍යයි.


දිගුකාලින විසදුම්  යටතේ මේ රටේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්තාව  ප‍්‍රජාතන්ත‍්‍රවාදිව සහ නිදහස මත පදනම්ව අති දැවැන්ත  සංශෝධනයකට ලක් විය යුතුයි. යම්කිසි කණ්්ඩායමක මැදිහත්විමකින් තොරව  මේ රටේ පොදු ජනයා විවිධ ආකාරයෙන්  මැදිහත්වි  සම්පාදනය කරගත් ආන්ඩුක‍්‍රම ව්‍යවසථාවක් අපි නිර්මාණය කරගත යුතුයි. ඒ වගේම මැතිවරණ ක‍්‍රමයේත් සංශෝධන සිදුවිය යුතුයි යැයිද’’ ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි