‘පරිස්සමින් රත්තරනේ’ යන ගීතය ගායනා කර ජනප්‍රිය වූ ඔහු මේ වනවිට ඔහුගේම ශබ්දාගාරයක් තුළ ගී නිර්මාණයක් සිදු කරයි. ඔහුගේ නවතම ගී නිර්මාණය වන ‘මගේ සැනසුම ඔයා සදා’ ගීතයේ රූප රචනාව එළිදැක්වීමේ සූදානමින් සිටියි. ඔහු දිලුම් නුරාධය.
දිලුම් පසුගිය කාලය තුළ ගී නිර්මාණයක් කළා?
ඔව්. ‘රෝයි පීරිස්ට පෙම් කළා මුළු හදින්’ කියන ගීතය කළා. මාරියෝ ආනන්ද, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ ඉන්දික ප්‍රසාද්ගෙ ගීතවල සංගීත නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා.
‘තේරුම් ගන්නේ නැහැනේ’ කියන ගීතය දෙරණ ඩ්‍රීම්ස්ටාර්හි කමනි ලසන්තිකාට කළා. මමයි, ගයත්‍රි මධුෂයි කළ ‘ඔය ඇස්වලින් බලා’ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් පසුගිය වසරේ නම් මම ටිකක් කාර්ය බහුල වුණා.
පසුගිය වසර තුළ ගී නිර්මාණ කරන්න ඒ තරම් ඉඩක් ලැබුණේ නැද්ද?
නැහැ. ශබ්ද ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව හදාරන්න ගිය වසරේ ලොකු කාලයක් කැපකරන්න සිදු වුණා. දැන් මම ඒ ආයතනයේ ලෙච්චර් කෙනෙක් ලෙස වැඩ කරනවා. ඒක මම කරන්නෙ ගොඩක් ආසාවෙන්. මම කළ නිර්මාණ එළිදක්වන්න මට අවස්ථාව ලැබුණෙ නැහැ. මේ වසර තුළ ඒ නිර්මාණ එළිදක්වන්න අවස්ථාව ලැබෙයි.
දිලුම් වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ මොනවගේ ගී නිර්මාණ කරන්නද?
නිර්මාණකරුවෙකුට සීමාවක් නැහැ. මම ඔය බෙදීමේ ඉඳන් කතා කරන්නෙ නැහැ. මම ඔය මල් සින්දු කියලා හඳුන්වන ගීතත්, ශාස්ත්‍රීය ගීතත් දෙකම සිදුකර තිබෙනවා. මෙහෙම දෙයක් කියන්න ඕන. මගේ ශබ්දාගාරයට ගීතයක් කර ගන්න එන කෙනා ජනප්‍රියද නැද්ද කියන දේ මත මම නිර්මාණකරණයේ යෙදෙන්නෙ නැහැ. මම නිර්මාණයක් කරන්න ටික කාලයක් ගන්නවා. හොඳ ප්‍රමිතියෙන් යුත් ගීතයක් කරන්න මට අවශ්‍ය. අද නිර්මාණයට වඩා මූලිකත්වය ලැබිලා තියෙන්නේ ව්‍යාපාරයට. ගෙයක් ගෙයක් ගානේ ශබ්දාගාර හදන් ව්‍යාපාර කරන කාලයක් මේක.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
මේ වනවිට ටෙලි නාට්‍ය නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒකටත් සූදානම් වෙනවා. මගේ ගී නිර්මාණ රැසක් ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි.
මතක් කළ යුතු පිරිසක් ඇති?
එච්.අයි. හිංගලගොඩ ගුරුතුමියත්, මගේ ළඟින්ම ඉන්න, මගේ නිර්මාණ ගැන අදහස් කියන හැමදෙනාමත්, මට උදව් කළ හැමදෙනාමත් මේ මොහොතේ මතක් කර සිටිනවා.
0776 983 369
රංගන මධුසංඛ / ඡායාරූප - තිසර ගංගාදර


