‘පරණ ක්‍රමයට රෝමෙන් වැඩක් කරගන්න බෑ‘


ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයනට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉටු කර ගත යුතු රාජකාරි සම්බන්ධයෙන් මෑතක සිට ප්‍රශ්න මතුවී ඇත.

මෙතෙක් එම කටයුතු ඉටු කර දුන් ඉතාලි රජයේ ලියාපදිංචි ආයතන මගින් එම කටයුතු කර ගැනීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලාංකිකයෝ කියති.

එවැනි ආයතන හතක් පමණ ඉතාලියේ ඇත.

ගමන් බලපත්, උප්පැන්න සහතික ඇතුළු විවිධ කටයුතු සඳහා තමන්ගේ ලියැවිලි රෝමයට ගෙන ගොස් එම කටයුතු කර දුන් ආයතනවලට දැන් එම කටයුතු කර ගත නොහැකි වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් ගෙන යන ලියැවිලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද පලෙර්මෝ නගරයේ එවැනි ආයතනයක් පවත්වාගෙන යන දිල්කි ප්‍රනාන්දු මහත්මිය එසැණ සමග කීවාය.

අලුත් කිරීමට බාරගත් ගමන් බලපත් සියයකට වඩා තම ආයතනයේ ඇතැයි ද පලෙර්මෝ සිට දෙවතාවක්ම කිලෝමීටර් අටසියයක් දුර ගෙවා රෝමයට පැමිණියද තානාපති කාර්යාලයය එක් බලපත්‍රයක්වත් බාර නොගත් බව ද ඕ සඳහන් කළාය.

ඉතාලි ශ්‍රී ලාංකිකයන් ද මෙම ආයතනවල සේවය පතනුයේ තනි තනිව රෝමයට යාමට ගත වන මුදල ඉතා අධික හෙයිනි.

එම ආයතනයෙන් යූරෝ විසි පහකට ( රුපියල් 4325) කරවා ගත හැකි වැඩක් සඳහා එක් අයකුට රෝමයට යෑමට පමණක් යුරෝ තුන්සියයක් (රුපියල් 51900)  පමණ වැයවෙතියි ප්‍රනාන්දු මහත්මිය කියන්නීය.

රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා පවසනුයේ එවැනි රාජකාරි කරවා ගැනීම සඳහා කිසිම ආයතනයක් තානාපති කාර්යාලයයේ ලියාපදිංචි වී නැති බවයි.

ඉතාලියේ එවැනි තවත් ආයතන ප්‍රධානියකු පැවසුවේ මාස කිහිපයකට පෙර තානාපති කාර්යාලයයකට බාර දුන් කිසිදු ලියැවිල්ලකට පිළිතුරක් නොලැබුණු බවයි.

මේ අතර ඉතාලියේ උපදින ශ්‍රී ලාංකිකයකුගේ උපත ලියාපදිංචි කිරීමට මව හෝ පියා තානාපති කාර්යාලයයට යා යුතුම වුවත් එසේ නොගොස් වෙනත් අයට වැඩි මුදල් ගෙවා එවැනි දේ කරගන්නා අය සිටිතියි ද දැනගන්නට ඇත.  එසේ උප්පැන්න ලියාපදිංචි කර ගත් කිහිපදෙනකුම පැවසුවේ තමන් එහි නොගොස් ඒ කාරිය කර ගත් බවයි.