‘නායකත්ව පුහුණුවට කෑම හිඟලු‘


විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණුවේ දී ඇතැම් කඳවුරුවල සිසුනට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොදෙන බවට තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

දෙදිනකට පෙර එක් කඳවුරක රාත්‍රියට දී ඇත්තේ බනිස්ය. ඊට පසු දින දී ඇත්තේ පරිප්පු සහ බත්ය. ඒ නිසා බනිස් හා පරිප්පු නොකන සිසුහු අපහසුතාවට පත්වූ බව දෙමාපියෝ කියති.

එම කඳවුරෙන් සිසුනට පවසා ඇත්තේ ආහාර සඳහා ප්‍රමාණවත් මුදල් ලබා නොදුන් නිසා එලෙස ආහාර දීමට සිදුවූ බවයි.

මෙම පුහුණුවට සහභාගී වී ඇත්තේ උසස් පෙළ ඉහළින් සමත් යෞවන වයසේ සිසුන් බවත්, ඔවුනට පෝෂදායි ප්‍රමාණවත් ආහාර වේලක් ලැබිය යුතු බවත්,  එලෙස ලබා දීමට ප්‍රමාණවත් මුදල් ලබා දිය නොහැකි නම් මෙම පුහුණුව නොපැවැත්විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මුදල් හා පාලන) පී ජී ජයසිංහ මහතා පැවසුවේ ප්‍රමාණවත් මුදල් දී ඇති බවත්, එවැනි ගැටළුවක් ගැන කිසිවකු පැමිණිලි කර නැති බවත්ය. ‘ඔයාලට ඕවා කියනනේ කවුද? ඔයාලා කියනකම් කරවුරුත් කිව්වේ  නැහැ. කියන්න බලන්න කවුද කිව්වෙ කියලා.‘ යැයි ද අතිරේක ලේකම්වරයා පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.