‘‘හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි‘‘ හිටපු අමාත්‍ය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා මාවනැල්ලේ දී පැවසීය. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට මේ රැලිය සංවිධානය කර තිබිණි.
‘‘එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය.‘‘
රුපියල් ප‍්‍රකෝටි ගණනක් එතනෝල් කල්ලිය වැය කරන බව රණවක මහතා කීවේය. ‘‘රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පෙනේ‘‘
‘‘එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සුළු පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි.‘‘
‘‘ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ.‘‘ එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000ක් මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැත. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැලියේදී රණවක මහතා අවධාරණය කළේය.
මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළ යුතු යැයි ඔහු කීවේය.




