‘දෝෂාභියෝගයක් ගැන තීරණයක් ගෙන නෑ’


බිඟුන් මේනක ගමගේ 
 
 
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණ කිසිදු තීරණයක් ගෙන නැතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
කොමිසමක් පත්කර යහපාලන ආණ්ඩුවේ ද වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමෙහි වරදක් නැතත් පුද්ගලයන් දේශපාලනිකව කොටු කිරීමේ හෝ විනාශ කිරීමේ අරමුණින් එවැන්නක් සිදුවුවහොත් එහි කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද ඇමැතිවරයා කීය.
 
වංචා දූෂණ සෙවීමට  ජනාධිපතිවරයාට අවංක අභිලාශයක් තිබේ නම් පළමුව කළ යුත්තේ ගුවන් හමුදාවේ මිග් ගනුදෙනුව, නාවික හමුදාවේ ඇවන්ගාඩ් ගනුදෙනුව, යුද හමුදාවේ දේපළ විකිණීම යනාදී වශයෙන් 2004 සිට 2014 දක්වා වූ සිදුවීම් සෙවීම යැයි කී හෙතෙම ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් සිදු වූ අලාභය බැඳුම්කර ගනුදෙනුවෙන් සිදු වූ අලාභය මෙන් විසි ගුණයක් යැයි අවධාරණය කළේය.
 
යහපාලන ආණ්ඩු කාලයේදී තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ යන අපරාධ පරීක්ෂණවලදී එම ඝාතනවලට අණ දුන් අය සම්බන්ධයෙන් කටයුතු කළේ නැතැයි ද තවත් පරීක්ෂණ දේශපාලන බලපෑම් මත යටගැසුවේ යැයි ද ඇමැති චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.