‘දිවි නසාගත් සැරයන් එදා කිලෝ මීටර් 100ක් ඈත‘


ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කළැයි කියමින් සියදිවි නසාගත් හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර් ජයමාන්න ඝාතනය වූ දිනයේ කිලෝමීටර සියයක් ඈත ස්ථානයක සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බවත් අත්අඩංගුවේ සිටින පුද්ගලයා නිදහස් කරන ලෙසත් ඉල්ලා ලියුමක් ලියා තබා සාජන් මේජර්වරයා මියගොස් සිටියේය.

බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සමාජික වැඩසටහනකදී ඔහු එසේ කීවේය.

‘පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව දිගින් දිගටම හොරකම්  එළිදරව් කරපු නිසා යුද්දේ කාලේ  සුද්දේ දුන්නු හැටි සන්ඩේ ලීඩර් පත්තරේ අකුරක් නෑර සේරම ලේඛන සහිතව විශ්වාසවන්තව ඉදිරිපත් කරපු නිසා ඒ කේන්තියට ලසන්තව මැරුවා. ලසන්තව මරපු එක ගැන පරීක්ෂණ නොකළා විතරක් නෙමෙයි ඒ පිළිබදව විවිධ අසත්‍ය කතා පැතිරෙව්වා‘

‘දැන් ලසන්ත මරපු මිනී මරුවෝ ටික අපේ දක්ෂ පොලිස් නිලධාරීන් විසින් බොහොම දක්ෂ විදිහට පරීක්ෂණ පවත්වලා අල්ලගෙන අවසාන කටයුතු ටික කරන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ හමුදාවේ ඔත්තු සේවයේ ඉදලා විශ්‍රාම ගිය පුද්ගලයෙක් මිය යනවා. ඔය හිරේ ඉන්න කෙනා නිදහස් කරන්න එයා නෙමෙයි ලසන්තව මැරුවේ මමයි මැරැවේ කියලා සටහනක් ලියලා‘

‘ ඒක ටිකක් අද්භුත කතාවක් සාමාන්‍යයෙන් මිනිස්සු වැරදිකරලා හිතේ අමාරුවට මැරෙන්න පුළුවන් අත්අඩංගුවට පත්වෙන්න කලින් මැරෙන්න පුළුවන්  හැබැයි ඒ වගේ වෙලාවක ලිපියකුත් ලියලා මම තමයි එයා නෙමෙයි කියලා මැරෙන එක බොහොම සැකසංකා සහිත බව කාගෙත් හිත්වල  ඇති වුණා. ඒ නිසා මිනිස්සු ඇහුවා ඇත්තටම එල්ලිලා මැරිලද නැත්නම් මරලා එල්ලලද කියලා‘

‘අද වෙනකොට ඔප්පුවෙලා තියෙනවා පොලිස් පරීක්ෂණ අනුව ලසන්ත මරපු දවසේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලානේ ඔය කියන පුද්ගලයා  ඉඳලා තියෙන්නේ එතුමගේ ගමේ කිලෝමීටර සියයක් විතර ඈත. ඔහුගේ දුරකතන ඇමතුම් විස්තර අනුව අද ඒවා සොයාගන්න පුළුවන්‘

‘දැං හරි පුදුම වැඩක් මමයි ලසන්තව මැරුවේ කියන කෙනා මිනීමැරුම වෙච්ච තැන ඉඳලා කිලෝමීටර සියයක් ඇතින්. දැන් අපිට සැක සංකා ඇතිවෙනවා. එදා මිනී මරපු මිනිස්සු අද ඒ  මිනී මැරුම් අනාවරණය කරන්න තවත් මිනීමැරුම්  කරනවද කියන  සාධාරණ සැකය. මේ පොලිස් පරීක්ෂණ නිසා  අපි ඒගමන කිව්වේ නැහැ මේක සැකයි කියලා. මේ දැන් මතුවන කරුණු අනුව අපිට පේනවා එදා මිනී මරපු මිනිස්සු අද බලය නැතිව ඉදලත් ඒ ම්නී මැරුම් වලින් මිදෙන්න ඒ මිනී මැරුම් පරීක්ෂණ නොමග යවන්න ජනතාව නොමග යවන්න තවත් මිනී මරනවද  කියන සැකය සාධාරණව අපිට ඇතිවෙන්න පුළුවන්‘ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.