2012 දැයට කිරුළ පැවැති අනුරාධපුර ඔයාමඩුව අද වන විට හරක් ලගින හරක් මඩුවක් බවත්, එහි කෝටි ගණනක් මුදල් වැය කොට කාපට් ඇතිරූ මාර්ග ව්‍යාපාරිකයන් විසින් බඩ ඉරිඟු වේලීමට යොදා ගන්නා බවත් සමාජ සේවා, සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.
‘‘අද ඔයාමඩුව හරක් මඩුවක්. ලක්ෂ කෝටි ගණන් මහජන මුදල් නාස්ති කළා. මේ මුදල රජරට ගොවියා වෙනුවෙන් වියදම් කළා නම් හොඳ නැද්ද? කිලෝමීටර් ගණනාවක් කාපට් දාලා මේ මහ කැළේට. අද ඒවායේ බඩඉරිඟු වේලනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග, ප්‍රධාන මාර්ගවලට කාපට් දාන්න තිබුණ සල්ලි මේ. රට ම ණය කරවලා දැයට කිරුළ පැළැන්දුවා. මේක දැයට කිරුළ නෙවෙයි, ණයට කිරුළ කියලා අපි එදා පෙන්නලා දුන්නා. රටේ ජනතාවට විගඩම් පෙන්වන්න නෙවෙයි තිබුණේ, අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ මුදල් යොදවන්න තිබුණා. පාළු අලි ගහණ කැළෑ මැද මේ වගේ ප්‍රදර්ශන ගන්නේ මොකට ද කියලා රට ම දන්නවා. රටට දැයට කිරුළ, ධන නිධානයක් කිව්වට නිධානය පහළ වුණේ ලොකු පුටුවලට කියලා පොඩි එකාගේ පටන් දන්නවා. මහජන මුදල් පුහු ආටෝපයට යට කරන්න යහපාලනයෙන් ඉඩක් නෑ. රටේ සංවර්ධනය නවත්තන්නෙත් නෑ.රටේ සංවර්ධනය වගේ ම සමාජීය සංවර්ධනය ද උදාකරන්න අපි කැප වෙනවා.” යැයි ඔහු එහි සංචාරයක යෙදෙමින් කීවේය.




