රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කළ යුතු බවට ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයට රජයේ ඇමැතිවරයකු ලිඛිතව දැනුම් දී තිබෙන බවත්, තමන් වහන්සේ එම ලියුම් සහිත ගොනුව දුටු බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියෝ රංගිරි දඹුළු පූජා භූමි සංවර්ධන වැඩසටහනේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසූහ.
‘දඹුලු රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට හානියක් වන බැවින් උයන්වත්ත රජමහා විහාරයේ නව සංවර්ධන කටයුතු නවතා දමන ලෙස යුනෙස්කෝ සංවිධානයට අපේ රටේ ඇමැතිවරයකු ලියුමක් දාලා තියෙනවා. මම ප්‍රංශයට ගියපු වෙලාවේ යුනෙස්කෝවේ නිළධාරියෙක් ඒ ලිපි ගොනුව මට පෙන්නුවා. මම ඇමතිවරයාගේ නම කියන්නේ නෑ. යුනෙස්කෝවේ ලංකාවේ නිළධාරිනියකුගේ ලියුමකුත් එතැන තිබුණා. අපේ බුදු පිළිම කඩන්න පිටරට සහය ගන්න අවශ්‍ය නෑ. කඩන්න ඕනෑ නම් රජයෙන් ප්‍රකාශයක් කරන්න. දඹුළු විහාරයේ හෝ කිසිදු බුදු පිළිමයකට හානි කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.‘

