‘දත් තිස් දෙකට‘ මැදිවුණු පැය හතරක්


වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙනෙක් පුරා පැය හතරක් පමණ පණ බියේ ගැහෙමින් වැලිවේරියේ නිවසක කළුවරේ ගොළුවන් සේ සිටි සිද්ධිය එහි සිටි මාධ්‍යවේදියෙක් විස්තර කරයි.

‘හමුදා සෙබළුන් හතර දෙනෙක් එතැන තිබුණු ඉනිමගෙන් උඩට නැගලා අපි දෙන්නා  වට කරගත්තා.  ඔවුන් ඇහුවා මෙතන මොකද කරන්නේ කියා. අපි කිව්වා ‘මීඩියා‘ කියලා.   කැමරා  කෝ කියලා ඔවුන් ඇහුවා.  හමුදාවේ දෙදෙනකු  බැටන් පොලු දෙකක් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට තබා තද කරගෙන හිටියා. ඉන් පස්සේ එතැන හිටපු අනිත් හමුදා සාමාජිකයන් දෙදෙනා තවත් මාධ්‍යවේදියකු අත තිබූ බ්‍රීෆ්කේසය අරින්න කිව්වා. ඒක ඇර  කැමරාව ගත්තා‘

 භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් රතුපස්වලට එන බවට ආරංචියක් ලැබී ඔවුහු එතැනට ගියහ.  වැලිවේරියෙන් එහා පැත්තට යන්න බැරි වෙන විදියට පාර වසා තිබිණි.

 ඒ වෙනකොට උද්ඝෝෂණයට හාර දහසක් පන්දහසක්   එකතු වී සිටිහය. 

‘අපි පාරේ ඉඳන් ඡායාරූප ගනිමින් සිටියදී ආරංචි වුණා බැලුම්මරදි මාධ්‍යවේදීන්ට ගහලා කියා. අපිට ඕනෑ වුණේ කැමරා ආරක්ෂා කරගන්නයි. උද්ඝෝෂණය කරන පාර හොඳට පේන තැනක් බලලා අපි කඩේක වහළයක් උඩට නැංගා. එතැන මාධ්‍යවේදීන් අට දෙනකු විතර හිටියා.

සන්නද්ධ හමුදාව වැලිවේරිය පැත්තට එනවා දැක්කම අපි එක්ක හිටපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙනත් තැනකට ගියා.  යුද හමුදාව අවට වතු වලින් පොලු කඩාගෙන එන හැටි දැක්කා. එක අතකින් මුගුරුත්, අනිත් අතින් තුවක්කුත් අරගෙන යුද හමුදා පිරිස් ඉදිරියට ආවා.

අපි ඉන්න හරියට එද්දී හමුදා නිලධාරියෙක් ඇඟිල්ල දිගු කර  කැමරා අයින් කර  ඉවත්වන ලෙස අණ කළා. අපි එතැනින් බිමට බහින්න හිතාගෙන පස්සට ගියා. අප සිටින තැනට යන ලෙස ඒ නිලධාරියාම   භටයන් කිහිප දෙනෙකුට   සංඥා කළා.    

ඔවුන් අප සිටි තැනට ඇවිත් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට පොලු දෙකක් තබා තදකරගෙන සිටියා. පස්සේ මට බිමට බහින්න කිව්වා.  ඔවුන් අපටට බැණවැදුණා. මොනවට උඩට නැංගාද කියා. අප ඉනිමගෙන් පහළට බැස්සා. ඔවුන් ඉවරයක් නැතිව බැණ වැදුනා. ඉන් පසු අපි  මැදි කරගෙන යුද හ්‍මුදාවේ හතර දෙනා හමුදාවේ පිරිස් වැඩිපුර ඉන්න පැත්තට අප රැගෙන ගියා.

‘මාධ්‍ය තමයි මේවා අවුස්සන්නේ. මුං ඇවිත් තියෙන්නේ අරමිනිස්සුන්ගේ ෆොටෝ ගන්න නෙමයි. අපි පොලු අරන් ඉන්න ඒවා ගන්න .‘ යැයි කියමින් ඔවුන් බැණ වැදුනා.

එතැන කඩේක හිටපු තරුණයන් පිරිසක් අප එතැන හිටපු කඩයකට අරගෙන ගියා. ඉන් පස්සේ යුද හමුදාව ගහන්න ගත්තා. උද්ඝෝෂකයනුත් යුද හමුදාව පැත්තට ගල් මුල් ගසන්න පටන් ගත්තා. අප සමග ගම්වැසියන් 20ක් පමණ හිටියා. එක්වරම හමුදාවේ පිරිසක් කුණුහරප කියාගෙන අපිට ගහන්න දුවගෙන ආවා.  ඒ හරියේ ගේට්ටුවක් ඇරලා තිබුණු වත්තකට අපි දිව්වා. දුවන ගමන් ගේට්ටුවත් වැහුවා. ඒ වෙනකොට දෙගොල්ල ගහගන්නවා. වෙඩි සද්දෙත් ඇහුණා. අපි එක්තරා ස්ථානයකට දුවලා දොරවල් වැහුවා. මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග පහලවක් විතර ඒ තැනට දිව්වා. අපි නිවසේ විදුලිපහන් නිවා දැම්මා. ඉන් පසු යුදහමුදාව ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිත් දොරටත් ගහුවා.

වෙඩි සද්දේ තදින් ඇහුණා. පැරා ගහනවා දැක්කා. මිනිසුන් කෑහනවා ඇහුනා. අපි ඉන්න තැන වටේම හමුදාව සිටියා. ඔවුන් අපව සොයන බව අපට තේරුණා. හයියෙන් කතා කරන්නත් බෑ එළියට ඇහෙනවා. ‘