‘දකුණෙන් ඇවිත් උතුරේ විරෝධතා පෑම සංහිඳියාවට තර්ජනයක්‘


උතුරේ ප්‍රශ්නයක් මුල් කරගෙන  දකුණේ ඇතැම් බලවේග උතුරේ විරෝධතා දැක්වීම උතුරේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර අනාදිමත් කාලයක සිට ගොඩනැගී ඇති සංහිඳියාවට ලොකු තර්ජනයක් බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දෙයි.

බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් පසුගිය සිකුරාදා (30) දහවල් වවුනියාවේ පැවැත්වූ විරෝධතාවයට හේ විරුද්ධත්වය පළ කළේය.

වවුනියාවේ සිංහල වැසියන්ට සිදු වූ ඕනෑම අසාධාරණයක් වෙනුවෙන් ඔවුන් වීදිබැස උද්ඝෝෂණය කරන්නේනම් එහි සාධාරණයක් ඇති නමුත් පිටස්තර පළාත්වලින් සංවිධානාත්මකව පැමිණ විරෝධතා දක්වන විට ඉන් උතුරේ වැසියන් අතර පවතින සංහිඳියාවට, සහෝදරත්වයට විශාල හානියක් සිදුවන බවට අමාත්‍යවරයා පැවසුවේය.

සිංහල බෞද්ධ ජනතාව නොවෙසෙන පළාත්වල බුදු පිළිම ඉදිකිරීම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් බවද හින්දු ජනතාව නොමැති බෞද්ධ ජනතාව පමණක් වෙසෙන පළාත්හි කෝවිල් ඉදි කිරීමටද තමන් විරුද්ධ බව ඇමැතිවරයා කීය.