ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය නිසි ආකාරව තවම මහජනතාවට ලබා දී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා අද මිල සෑහෙන්න අඩුවී ඇතැයි ද ඔහු කීවේය.
පසුගිය මාස දෙක ඇතුළත ද බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර පහත බැසීමක් ඇතැයි ද, ඔක්තෝබරයේ ඩොලර් 51 (රුපියල් 7326.40) තීබු බැරලයක අද මිල ඩොලර 36.38 (5226.17) බව ද ඔහු සඳහන් කළේය.
තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට යැයි කියමින් 2007 දී ජනාධිපතිගේ ද සහභාගීත්වයෙන් සපුගස්කන්නේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්ය ද අද වන තුරු එය ඉදි කර නැති බවත්, දැන් මුල්ගලවත් සොයා ගත නොහැකි බවත් හේරත් මහතා කීවේය.
ලංකාව පෙට්‍රල්, ඩීසල් වෙන වෙනම ගෙන්වනවා වෙනුවෙට බොරතෙල් ලංකාවට ගෙනැවිත් පිරිපහදු කරන්නේ නම් වියදම අඩු කර ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.


