‘තාජුඩීන් ඝාතනයේ වීඩියෝ ගැන එතෙරින් වාර්තාවක්‘


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සීසීටීවී කැමරා දර්ශන ඇමරිකාවේ එෆ්බීඅයි, එම්.පී.එස් හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් අධිකරණ විද්‍යා පිළිබඳ විද්‍යාගාරයකට යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (5) දැන්වීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය අද (5) අධිකරණය හමුවේ කියා සිටියේ සැකකටයුතු වාහනයක් සීසීටීවී දර්ශනවල ඇතත් එම දර්ශනවල දුර්වල තත්ත්වය නිසාත් තම විද්‍යාගාරයේ තාක්ෂණ සීමා නිසාත් වාහනයේ අංක තහඩුව හඳුනාගත නොහැකි බවයි. නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේදී ගත් බව කියන ඩීවීඩී හා සීඩී තැටි හතරක් පිරික්සූ බවත් සැකකටයුතු වාහනයක් එහි ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අංශය උසාවිය දැන්වීය.

පාරේ ආලෝකයත් වාහන ආලෝකයත් නිසාත් අඳුරේදී මෙම වීඩියෝ දර්ශන ගෙන ඇති නිසාත් අංක තහඩුව පැහැදිලිව හඳුනාගත නොහැකි බව සරසවිය අධිකරණයට දැන්වීය. ඩබ්ලිව්.පී.කේ.යූ - 6543 දරණ සැක කටයුතු වාහනයේ මිනිසුන් සිටීදැයි හඳුනාගැනීමටද නොහැකි බව සරසවි වාර්තාවේ දැක්වේ. එම සීසීටීවී දර්ශන විශ්ලේෂණයට විදේශ විශේෂඥ සහාය ලබාගත හැකි බව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට මීට පෙර දන්වා තිබිණි. වැඩිදුර විභාගය ජනවාරි 7 ට කල් තැබිණි.

තාජුඩීන් ඝාතනය කැරුණේ 2012 මැයි මාසයේදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදීය.