ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමෙන් ජයග්‍රහණයක් අත්පත් කරගත්තද සාමය දිනාගැනීමට නොහැකි වූ බවත් මෙරටට සදාතනික ගොඩනැගීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇතැයි ද හිටපු ජනාධිපතිනි ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (15) පැවැසූවාය.
පසුගිය කාලයේදී පාලකයන් පවා ජාතික අසමගියට, ආගමික හා වාර්ගික අර්බුදවලට සහාය දැක් වූ බවත් ඒ නිසා ඉදිරියේදී එවැන්නක් ඇති නොවීම සඳහා ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවත් හිටපු ජනපතිනිය එහිදි කීවාය.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේදී ජනමාධ්‍යවේදීන් සමඟ අද (15) පැවැති හමුවකදී ඇය ඒ බව සඳහන් කළාය.
‘දීර්ඝකාලීන සාමයක් ඇති කිරීමේ දැඩි අවශ්‍යතාවක් මේ වනවිට ඇති වී තිබෙනවා. අද ඒ සඳහා සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා. නිදහසින් පසු මෙරට ප්‍රධාන පක්ෂ දෙක එක්ව එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා. තිස් අවුරුද්දක යුද්ධයෙන් පසු සාමය ගොඩනැගීමට පසුගිය ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් ලැබුණා. එහෙත් ඔවුන් එයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ත්‍රස්තවාදය පරාජයට පත්කර ජයග්‍රාහණයක් ලබාගත්ත ද සාමය දිනාගැනීමට නොහැකි වුණා. ත්‍රස්තවාදය මෙරටින් මුළු නුපුටා දැමීම කළ යුතුව තිබූ දෙයක්. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් පසුගිය දශකයේදී යුද්ධය අවසන් වීමෙන් ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ.‘යැයි ද ඇය කීවාය.

