‘තංගලු නඩුවේ පැමිණිල්ල දුර්වලයි‘


සැකකරුවන් විසින් කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා ඔහුගේ පෙම්වතිය කෙළෙසූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි නීතිවේදී නලින්ද ඉන්ද්‍රතිස්ස කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගලම මහත්මිය හමුවේ පැවසීය.

2012 නත්තල් දා තංගල්ල නේචර් රිසෝර්ට් හෝටලයේ දී රතුකුරුස සේවකයකු වන කුරාම් මරා ඔහුගේ බිරිය සමූහ කෙළෙසීමට ලක් කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු හය දෙනෙක් චෝදනා 17ක් යටතේ මෙම නඩුවට මුහුණ දෙති.

සාක්කි සම්පිණ්ඩන දෙසුම කරමින් ඔහු පැවසුවේ පැමිණිල්ල ඉතා දුරුවල හා අසාර්ථක වූ බවයි.

සිද්ධීන් වටා ගෙතුණු පරිවේශනීය සාක්කි මත පමණක් නඩුවක් ඔප්පු කළ නොහැකි බවත් සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවන් නැති බවත් ඔහු කීවේය.

හිටපු ප්‍රාදේශීය සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ සාධාරණ සැකයෙන් තොරව නඩුවක් ඔප්පු කිරීම අපරාධ නීතියේ අරමුණ වුවත් එසේ කිරීමට මේ නඩුවේ පැමිණිල්ලට නොහැකි වී ඇතැයි කීවේය.

වැරදිකරු යැයි ඔප්පු වන තුරු විත්තිකරුවකු අහිංසක බවට ඇති නීතිමය සිද්ධාන්තය ගෙන හැර දැක්වූ නීතීඥවරයා ඉල්ලා සිටියේ අධිකරණමය ඇසින් නඩුව දෙස බැලිය යුතු බවයි. මාධ්‍යවල පළවූ වාර්තාවලින් අගතියට පත් නොවිය යුතු බවයි.

වැඩිදුර සාක්කි සම්පිණ්ඩන දේශන සිකුරාදා (11) දක්වා කල් තැබිණි.