‘ජීප් රිය පැදවුයේ පාඨලී නොවේ‘


මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශයට අයත් රථයක් මෝටර් සයිකලයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අවස්ථාවේ එම ජීප් රිය පැදවූයේ ඇමැතිවරයා බවට එල්ල වන චෝදනාවන්හි කිසිම සත්‍යතාවයක් නැති බවත්, ඇතැම් මාධ්‍ය හා දේශපාලනඥයින් මෙම සිද්ධිය මුල් කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

මේ රිය අනතුර සිදුවූයේ කෙසේද?, එම අවස්ථාවේ රිය ධාවනය කළේ කවුද?, පැමිණිල්ල වෙනස් කරලාද?, අනතුර සිදුවූයේ පොලීසියට භාර වූ රියදුරු අතින් නොවේද ආදී වශයෙන් මේ වන විට ඇතිවී තිබෙන ගැටලූවලට පිළිතුරු පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණවලින් හෙළිවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ සිදුවීමේ දී  රණවක ඇමැතිවරයා අතින් නීතිවිරෝධි කරුණු 4ක් සිද්ධ වී ඇති බවත් ඒ අනුව නොසැලකිලිමත් රිය පැදවීම, අනතුරකදී පලා යාම, තමන් වෙනුවට තවත් පුද්ගලයකු පොලිසියට ඉදිරිපත් කිරීම, අධිකාරි බලයකින් තොරව ආණ්ඩුවේ වාහනයක් එළවීම යන කාරණා නීතිය කඩකිරීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ඉරිදා (6) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

warne_20163793