‘ජාතිවාදී අඩව්වෙන් බිම වැටෙන්නේ විග්නේෂ්වරන්මයි‘


සාමය සමගිය වෙනුවට වෛරය ක්‍රෝධය ගොඩනඟන දුරදිග නොබලන, මහපොළව නොදකින, උතුරේ සාමාන්‍ය පොඩි මිනිහගේ අපේක්ෂා  පිළිබඳ අල්ප මාත්‍රයකවත් හැඟීමක් නැති ජාතිවාදීන් එක්ක එකතුවී අසිමිත බල තන්හාවෙන් කටයුතු කරන විග්නේෂ්වරන් මහ ඇමැතිට එරෙහිව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් විය යුතු  යැයි විදුලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් පිරිසකගේ හමුවක දී පැවසීය .

‘උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා මේ දවස්වල ලොකු අඩව්වක් අල්ලනවා. මේ රටේ භූමියේ යථාර්ථය ගැන නොසිතා උතුරේ ඉන්න ජාතිවාදීන් එක්ක එකතුවී මේ රට ගොඩනගන එක, රටක් හදන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න වැඩ කරනවා‘

‘විග්නේෂ්වරන්ට බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ යහපාලන රජය යටතේ මේ රට බෙදන්න, මේ රට ෆෙඩ්රල් කරන්න, මේ රටේ දෙමළ මනුස්සයට, සිංහල මනුස්සයට මුස්ලිම් මනුස්සයට එකම අයිතිවාසිකම තියාගෙන මේ රටේ ජීවත්වෙන්න පුළුවන් ඒ පරිසරය හදන වැඩපිළිවෙළ නතර කරන්න අපි කිසි ලෙසක ඉඩ දෙන්නේ නැහැ. අලුත් ව්‍යවස්ථාවක් හදලා මේ රටේ සිංහල දෙමල මුස්ලිම් හැමෝටම සමාන අයිතිවාසිකම් සහිතව ජිවත්වන පරිසරයක් මේ රටේ ගොඩනගනවා උතුරෙත් දකුණෙත් හැමෝටම සුහදව සාමකාමීව ජිවත්වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනගනවා‘

‘උතුරේ හා දකුණේ ජාතිවාදයටත්,  ආගම් වාදයටත්, ප්‍රදේශ වාදයටත් තවදුරටත් තැනක් නැහැ. එල්ටීටීයේ ඉතුරු නෂ්ඨාවශේෂවලට නැවත පණ ගසන්නට ඉඩදෙන විග්නේෂ්වරන්ලාගේ මේ දේශද්ද්‍රෝහි දේශපාලනය අවසන් කරන්නට සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකතු වෙන්න ඕනෑ‘