‘ජාතික ආණ්ඩුව කාල බෝම්බයක් : ශ්‍රීලනිප අතට යන්නත් පුළුවන්‘


 ‘අද ජාතික ආණ්ඩුවක් කියනවා. හවුල් ආන්ඩුවක් කියනවා. හැබැයි මේ ආණ්ඩුව මහා අවුලක්. කාල බෝම්බයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට ගත්තාදෝ කියා මට සැකයක් තිබෙනවා. රටේ ආර්ථිකය, මහ බැංකුවේ අද තිබෙන තත්ත්වය බලන විට මහ බැංකුවේ මහා මූල්‍ය වංචාව නිකම්ම නිකම් සැකයක් පමණයි. බිලියන තුහක් ඊයේ වන විට ආණ්ඩුවට පාඩුයි. මේක තමයි යහපාලනය. අපි බලාගෙන ඉන්නවා. තව ටිකක් ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාල බෝම්බය අතට ගෙන මොනවායින් මොනවා කර ගනියි ද දන්නේ නැහැ. ‘ යැයි  මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (24) නාරාහේන්පිට අභයාරාමයේ දී කීවේය.

‘ඉතිහාසයේ අපේ අතින් ලොකු වැරැදි සිදු වුණා. අපි නැහැ කියන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේලා කී පරිදි වෙලාවට දඬුවම් කළේ නැහැ, අනුකම්පා කළා. 

ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් කළ පසු මම හුඟක් දේවල් ගැන වෙනස් ආකල්පයක් තමයි දැරුවේ. සංවර්ධනයේ කටයුතු ගැන නිරත වුණාට මම අනෙක් කටයුතු ගැන උනන්දු වුණේ නැහැ. දැන් තමයි අපට ඒ ගැන තේරෙන්නේ පසුගිය කාලය තුළ අපට මිත්‍රයන් කවුද, මිත්‍රයන් නොවන අය කවුද කියා.  ප්‍රෙතයන් හා කුම්භාණ්ඩයන් කවුද යන්න හඳුනා ගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒකත් ලොකු දෙයක්. තව ටිකක් මෙහෙම ඉන්න විට තමයි තවත් අය හඳුනා ගැනීමට හැකි වන්නේ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාර්ලි පාරවත් අත ලකුණවත් නොවෙයි. එදා බණ්ඩාරනායක මහතා යන විට ඩී. ඒ. රාජපක්ෂ මහතාත් පස්සෙන් ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවා. බණ්ඩාරනායක පවුලේ උදවිය කී පාරක් පක්ෂය කඩාගෙන ගියාද කියන එක මම අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ අය පක්ෂය කඩාගෙන යන විට මැතිනියට හිටියේ අපි විතරයි කියන එක අපි දැන් මතක් කර දෙන්න ඕනෑ. කෙසේවෙතත් අද අභූත චෝදනා අපට ඉදිරිපත් කරනවා. මුළු පවුලට අභූත චෝදනා කරනවා. 

දැන් කථාවක් යනවා කොහොම හරි එක්කෙනකු අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා. එක විත්තිකාරයෙක් උසාවියේ දී නාමල් ළඟට ඇවිත් පොලිස් නිලධාරියකු පෙන්නා කිව්වලු මේ නිලධාරියා තමාගේ කටට තුවක්කුව දා  නාමල් මන්ත්‍රීතුමාගේ නම කියන්න කිව්වා කියලා. මම ඇහුවා ඇයි පැමිණිල්ලක් නොකළේ කියලා. එයා ඒ ගැන එතරම් ගණන් ගත්තේ නැහැ කිව්වා. ඒ විදියට තමයි සමහරුන්ගෙන් කටඋත්තර ගන්න සූදානම් වන්නේ. 

අගමැති ලේකම් මට කිව්වා අපට උපදෙස් ලැබිලා තිබෙන්නේ මේ වගේ වාඩි වෙලා සුහදව ප්‍රශ්න කරන්න නොවෙයි කියලා. මේ වගේ තර්ජන ගර්ජන මැද්දෙයි අද රාජ්‍ය සේවකයාට වැඩ කරන්න වෙලා තිබෙන්නේ. මේක හොඳ පූර්වාදර්ශයක් නොවෙයි. අගවිනිසුරු අස් කළ ආකාරය, පත් කළ ආකාරය පූර්වාදර්ශ වෙන්න පුළුවන්. අකමැති නඩුකාරයෙක් ආවොත් නීතිඥයන් විස්සක් විසි පහක් ගිහින් ඇදලා දාලා කෙනෙක් පත් කරනවා. මේකයි යහපාලනය. මේක නම් යහපාලනය රටට දෙවියන්ගේම පිහිට තමයි. 

ජනතාව මේවාට එතරම් සංවේදි නැහැ. අද සියලු පත්තර රජයේ පත්තර  . නැත්නම් රජයේ දැන්වීම් ලැබෙන්නේ නැහැ. ඒ අයට තර්ජන, ගර්ජනවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ පෞද්ගලිකව පහර ගහන්න. බදු අය කරන්නේ එක එක මිනිසුන් හඳුනාගෙන ඒ අයට පහර ගහන්න. ක්‍රී නාලිකාවටයි, කැසිනෝ එකටයි එක හා සමාන බද්දක්. වැරැදි මතවලට මේ අය ක්‍රියාත්මක වෙනවා. මේ විදියේ යහපාලනයක් තමයි මේ කරගෙන යන්නේ. 

ගාමිණි සෙනරත් මහතාගෙන් ප්‍රශ්න කරනවා එයා සභාපති ධූරය දැරූ සමාගමෙන් වාහනවලට ලීසිං දුන්නා කියලා. ජනාධිපති කාර්යාලයට තමයි දීලා තිබෙන්නේ. ජනාධිපති කාර්යාලයට වාහන 68කුත් වෙනත් සමාගමකට වාහන වගයකුත් දුන්නා කියලා. ජනාධිපති කාර්යාලය කියන්නේ පිටස්තර තැනක් නොවේ රජයේ තැනක්. ලීසිං ගෙව්වේ නැත්නම් ‍ඒවාට දඩ ගහනවා. ඒවට ක්‍රමවේදයක් තිබෙනවා. රත්වත්තේ මහතා අධිකරණයට රැගෙන ගියා. ඇප දුන්න මහේස්ත්‍රාත් මාරු කළා.  

මේවයින් රටේ ජනතාව නොමඟ යවන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. මට ඡන්දය දුන් 58 ලක්ෂයක ජනතා  අතරමං කිරීමට මා සූදානම් නැහැ. මේ කාලයේ තවදුරටත් වටපිටාව බලමින් සිටින එක තමයි හොඳ. එයින් අපේ අඩුපාඩු වගේම අනෙක් අයත් හඳුනා ගැනීමට පුළුවන් වෙයි. ඒ අතර මම පන්සල්වලට යන්නට බලාපොරොත්තු වෙනවා. මම අගමැති කාලයේ පන්සල්වලට ගියා කියලා එක්තරා ඇමැතිවරයකු කිව්වා මල් වට්ටිය රැගෙන ගියාට ජනාධිපති වෙන්න බැහැ කියලා. ඒ උදවියටත් මම ඇමැතිකම් දුන්නා.‘

DSC_4678 DSC_4700