‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පැවසීය.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම තුළින් යැයිද පැවසීය.


19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ වසර 4 1/2ක කාලයක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දෝෂ සහගත බවත් මේ වන විට විවිධ දේශපාලන පක්‍ෂ හා විවිධ පුද්ගලයින් මත ඉදිරිපත් කරන බව පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම කුමක්දැයි  කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා එසේ පැවසීය.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වගත්තියේදී 33 වැනි වගන්තියේ කුමක් සඳහන් වුවත් යනුවෙන් සඳහනක් වත්, 33 වැනි වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගත්තියට යටත් බවට සඳහනක්වත් නැහැ. 


කතානායකවරයා පාර්ලිමෙන්තුවේ කටයුතු හසුරුවනු ලබන තැනැත්තා පමණයි. ඔහුට රට පාලනය කළ නොහැකියි. අගමැතිවරයා සම්බන්ධයෙන් මතුවු ගැටළුවේදී කතානායකවරයා ක‍්‍රියකළ ආකාරයෙන් සුවිශේෂි තත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ අනුව ජනාධිපතිවරයාට ඇති අමතර බලය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි.