‘ජනතාවට තිත්ත බෙහෙත් : මැති ඇමැතින්ට පැණිරස බෙහෙත්‘


‘අද වන විට හංසයාට කතිරය ගහපු, අලියාට කතිරය ගහපු ජනතාව ඇතුළු මේ රටේ මුළුමහත් පොදු ජනතාව මේක අසමත් ආණ්ඩුවක් බව වටහාගෙන අවසානයයි. ජනතාවට පැය විසිහතර විදුලිය ලබාදීමට අසමත් වූ, සති දෙකක් ඇතුළත දෙවතාවක් ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමට අවස්ථාව උදා කරපු, ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට අසමත් වූ බියගුළු අසමත් ආණ්ඩුවක් බව අද වන විට පෙන්වා තිබෙනවා‘යැයි  ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද(14) බොරැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට හදන විගඩම් බලයට එරෙහිව ප‍්‍රගතිශීලී, දෑහිතකාමී සැබෑ ජනතා බලය පෙන්වීම සඳහා මාර්තු 17 වැනිදා කොළඹ හයිඩ් පිටියට රොද බඳින ලෙස රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් වලින් ඉල්ලා සිටින බව ද පැවසූ වීරවංශ මහතා කියා සිටියේ මහජනයාට ‘තිත්ත බෙහෙත්’ බොන්න කියන ගමන්, තමන්ගේ වරප‍්‍රසාද වැඩිකර ගන්න මැතිඇමැතිවරුන්ට පැණිරස බෙහෙත් පොවන්න අගමැතිවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි.

මැති ඇමැති වරප‍්‍රසාද වැඩිකර ගැනීමට යාම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය තමන්ගේ විරුද්ධත්වය පැහැදිලිව දක්වා තිබෙන බවත් ඔහු කීවේය. 

වත්මන් රජය සිදුකරන ගොවි සහන කප්පාදුව, රණවිරු දඩයම, භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම, මාධ්‍ය මර්දනය, මැතිවරණ කප්පාදුව, ඉන්දියාව සමග අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුම ආදියට විරෝධය පා පැවැත්වෙන රැලියේදී සෝමවංශ අමරසිංහ මහතාද ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවට ගොඩවන බව එහිදී මාධ්‍ය ඇමැතූ ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ අතර අද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවැති දේශනයකදී විමල් වීරවංශ මහතා පැවසූයේ ආණ්ඩුව තරුණයින් කොළඹට ගෙනැවිත් එට්කා ඕනෑ කියන්න උත්සාහ කරන බවත් මෙය හොඳ ගිවිසුමක් නොවන බවත්ය.

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න