‘ජනතාව පාරට බැස්සේ බලාපොරොත්තු කඩවුණ නිසයි‘ - විජිත හේරත්


‘අද ජනවාරි 08වැනිදා. මේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවනවිට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලූ බලාපොරොත්තු සුන් වෙලා. රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය ක්‍රියාත්මක කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (8) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘මෛතී‍්‍ර-රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. ජනතාවගේ බලාපොරොත්තු කඩවුණු නිසා තමයි අද ජනතාව පාරට බැහැලා තිබෙන්නේ. පීඩාකාරී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව රටේ ජනතාව වීදි බැස්සා. ආණ්ඩුව ඒ අරගල හමුදාව, පොලීසිය යොදවලා කඳුළු ගෑස් ගහලා වෙඩි ප‍්‍රහාර එල්ල කරලා මර්දනය කළා. ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ ඒ මර්දනයයි. අපේ රටේ කර්මාන්ත හදන්න  ඕනෑ බව අපි පිළිගන්නවා. නමුත් ඒ වෙනුවෙන් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්න දෙන්න බැහැ. ජනතාවගේ ඉඩම් පවරාගෙන කර්මාන්තශාලා හදල වැඩක් නැහැ. ආණ්ඩුව මේ කරමින් ඉන්නේ කර්මාන්ත හදන මුවාවෙන් විදෙස් සමාගම්වලට කුණු කොල්ලයට ඉඩම් විකුණලා එදා වේල පිරිමහ ගන්නයි. ජනතාවට පහර දීලා, තර්ජනය කරලා මේ සටන යටපත් කරන්න බැහැ. සිය දහස් ගණනක් ජනතාව සමඟ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටිනවා. පෙළ ගැහෙනවා.‘ යැයි ද විජිත හේරත් මහතා කීවේය.

DSC---2154