‘ඡන්දේ බරපතල ගැටුම් නෑ‘


අද දින 60-70% ත් අතර ඡන්දය ප්‍රකාශ කොට තිබූ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.

උතුරු නැගෙනහිර පළාත්හි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශාල උනන්දුවක් පැවතීම කැපී පෙනේ.

මාතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක පවතී. ගාල්ල, බලපිටිය, කෑගල්ල හා රඹුක්කන යන ප්‍රදේශවල දී එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්ද මධ්‍යස්ථාන අසල සිය ආධාරකරුවන් සමග රැඳී සිටිමින් ඡන්ද දායකයන්ට බලපෑම් කළ බවද මේ සඳහා මැදිහත්වූ පොලිසියටද තර්ජනය කළ බවද වාර්තාවේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක පාහේ ඡන්ද මධ්‍යස්ථාන අවට රැඳී සිටින කුඩා කණ්ඩායම් එජනිස අපේක්ෂකයාට ඡන්දය සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණු බවද නිරීක්ෂණ ජාලය පවසයි.

මිහින්තලය, මඩකලපුව, බිබිල, පුත්තලම, රත්නපුර, හල්පිටිය, ගම්පහ, කොළඹ, මාතර, ත්‍රිකුණාමලය, වාකරේ හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 31 ක් නීති විරෝධී ප්‍රචාරක කටයුතු 141 ක් සහ ඡන්ද දායකයන්ට බලපෑම් කිරීමේ සිදුවීම් 42 ක් පිළිබඳ පැමිණිලි වාර්තාවූ බවද ඔවුහු කියති.