ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උලංඝණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා වෘත්තීය සමිති අද විශේෂ හමුවක් පැවැත්වීය.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ රැසක් ඊට එක්වූහ. වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ගැටළුවලට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පිළිතුරු දුන්නේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා -
‘සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දුන් පත්වීම් රැසක් පසුගිය දා අවලංගු කළා. නමුත් ආණ්ඩුව තවම වෙන වෙන පත්වීම් දෙනවා. සමූඛ පරීක්ෂණ පවත්වනවා. යතුරු පැදි ආදිය බෙදනවා. ඒ විදියට පත්වීම් අවලංගු කරන්න පුළුවන්? විවිධ වරප්‍රසාද දෙන්න පුළුවන්ද?‘
වරාය ජාතික සේවක සංගමයේ උදේනි කළුතන්ත්‍රි -
‘ජනාධිපතිවරණ වැඩ සඳහා වරාය සේවකයන් රැසක් යොදාගෙන තියෙනවා. රාජකාරි වෙලාවේ නිල ඇඳුම ඇඳගෙන සමහර සේවකයන් ජනාධිපතිවරණ වැඩ කරනවා. ඔවුන්ට මසකට අතිකාල පැය 900ක් දීලා. වැඩ කරන සේවකයන්ට පොඩි ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ. ජනාධිපතිවරණයට වැඩියෙන් වියදම් කරන්නේ වරායෙන් වෙන්න ඇති.‘
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
‘ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලයි තියෙන්නේ. දැන් මේ අපි කතා කරන අවස්ථාව වෙනකොටත් පවත්වීම් දෙන්න අධ්‍යාපන අමාත්‍යංශයේ සමූඛ පරීක්ෂණ පවත්වනවා. ලංකාවේ සියලු කලාප කාර්යාලවල ප්‍රධානීන් කැඳවා කන්න බොන්න දුන්නා. විවිධ පිරිස් ගෙන්වා හැමදාම සංග්‍රහ කරනවා. මැතිවරණය ප්‍රකාශ කළ දවසේ සිට නාමයෝජනා බාර දෙන තුරු ඡන්ද නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒ සඳහා මැතිවරණ කොමසාරිස්ට තිබෙන බලතල මොනවද?‘
ලංකා බැංකු සේවක සංගමයේ කේසර -
‘බැංකු ක්ෂේත්‍රය අයිති මුදල් අමාත්‍යංශයට. මුදල් අමාත්‍යවරයා වන්නේත් ජනාධිපතිවරයා. මුදල් අමාත්‍යංශය විවිධ ක්‍රම මගින් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වියදම් කරනවා. ‘
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා -
‘2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කළේ කොහි සිටද කියා කිසිම කෙනෙක් දන්නේ නෑ. සරත් ෆොන්සේකාගේ නියෝජිතයා ලෙස මා සවස මැතිවරණ කාර්යාලයයට ගියා. නමුත් එහි කිසිම කෙනකු සිටියේ නෑ. මාධ්‍යවේදීන්, පොලිසිය, නිලධාරීන් මේ කිසිම කෙනක් හිටියේ නෑ. අද වනතුරු කිසිම කෙනෙක් දන්නේ නෑ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කළේ කොහි සිටද කියා. එවැනි දේවල් මෙවර වෙන්න තියන්න එපා.‘
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා -
‘1978 ජනාධිපති මැතිවරණ පනත ඡන්දය ලබා ගැනීමට රජයේ මුදල් පමණක් නොවේ පෞද්ගලිකවම හෝ මුදල් වියදම් කිරීම නීති විරෝධීයි. සංග්‍රහ පවත්වන්න බැහැ.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නීතීඥවරුන් සහ සිවිල් සංවිධාන අපෙන් ඉල්ලීමක් කළා.
අපි කිසිම දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ නෑ. අපි නිර්පාක්ෂිකයි. මැතිවරණ නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ඕනෑම පක්ෂයක් අපේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන සලකා බැලිය හැකියි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අපෙන් කළ අනුව මැතිවරණ නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අපි සක්‍රීය මැදිහත් වෙනවා. නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව අපි නඩු පවරනවා.
අල්ලස් පනත යටතේ ගැනෙන් සංග්‍රහ, අල්ලස් දීම් ආදිය ගැන අල්ලස් කොමිසම කටයුතු කරන්නේ නැති නම් අපි පෞද්ගලිකව ඒ ගැන නඩු පවරා නීතිපතිගේ අනුමැතිය ඇතිව නඩු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් පියවරක් නොගන්නවා කියන්නේ වක්‍රව ඔවුන්ට උදව් කරනවා කියන එකයි. අපි හිතනවා මැතිවරණ කොමසාරිස් එසේ නොකරයි කියා.‘
ඡායාරූපය ඉෂාන් සංජීව


