(සුජිත් හේවාජූලිගේ)
චෝදනා එල්ල වූ පලියට පොලිස්පතිතුමා කනෙන් අල්ලා එළියට දැමීමේ හැකියාවක් නැති බවත් පරීක්ෂණවලින් ඔහු වරදක් කර ඇතැයි ඔප්පු විය යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
ජයවර්ධන මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
කවින්ද ජයවර්ධන මහතා මෙසේ ද කීය.
“රටේ ආර්ථිකය ගැන අද කෑගහන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. එදා ආර්ථිකය විනාශ කළ අය අද රටේ ආර්ථිකය ගැන කථා කරනවා. ඔවුන් කළේ රට රහස් උගුලක හසු කිරීමයි. සුදු අලි ව්‍යාපෘතිවලට විශාල මුදලක් ගෙන රට හිර කළා. ඒවගේම මේ රටේ සම්පත් විදේශ රටවලට වික්කා. හමුදා මූලස්ථානයත් විකිණුවා. ආර්ථිකය දුර්වල බව දැනගෙනයි මහින්ද කල් තියා ඡන්දයකට ගියේ. රටේ සම්පත් විකිණීම මහින්දගේ ප්‍රතිපත්තියයි. මහින්ද මේ උගුල නොඇටවූවා නම් ආර්ථික අර්බුදයක් ඇතිවන්නේ නැහැ. මේ ආණ්ඩුව ජයග්‍රහණ රැසක් ලබාගත්තා. ජී.එස්.පී.ප්ලස්. ගත්තා. කාලයත් සමඟ රටේ ආර්ථික ප්‍රශ්න විසදේවි.”