‘චීන-ලංකා සබඳතාවෙන් වෙනත් රටකට ගැටළුවක් නෑ‘


ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා අන් කිසිදු රටකට තර්ජනයක් හෝ බාධාවක් නොවන බව  චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා අද (8) පැවැසීය. 

චීනය හා ශ්‍රී ලංකාව ඉතිහාසගත සබඳතාවක් තිබෙන බවත් ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා චීනය සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් ඔහු කීවේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හා ලංකාවේ සංචාරයකට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහත්වරුන් අතර පැවැති ද්විපාර්ශවීක සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (8) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම කරුණු පැවැසීය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා මෙසේ ද කීය.

“චීනය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් තිබෙනවා. එම සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමටත් දෙරට අතර පවතින සබඳතා පුළුල් කිරීම අප අවධානය යොමු කර තිබෙනවා.

අප විසි එක්වැනි සියවසේ සේද මාවත ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. එය රටවල් දෙක අතර ආර්ථික කටයුතු සඳහා උපකාර වනවා පමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමානයේ ක්‍රියාත්මක කරමින් සිටින පස්වසරක සංවර්ධන සැලැස්මට සැසඳෙනවා. ඒ නිසා දෙරටේ ආර්ථික කටයුතු වර්ධනය වේවි. ඒ වගේම ශ්‍රී ලංකාවට නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ හැකියාව හා අවස්ථාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපි සෑම සහයෝගයක්ම ලබාදෙනවා. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථාව උදා වෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.

“චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරය සුවිශේෂී අවස්ථාවක්. පසුගිය වසරේ ජනවාරි මාසයේ පැවැති ජනපතිවරණයෙන් පසු චීනයේ ඉහළ පෙළෙ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හා චීන විදේශ අමාත්‍යවරයකු මෙරට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වී ලබන වසරට අවුරුදු 60ක් සපිරෙනවා. එමෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු රබර් සහල් ගිවිසුමට ලබන වසරට අවුරුදු 65ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අප චීනයේ බීජිං නුවර ශ්‍රී ලංකාවක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියල්ල සැමරීම සඳහා අප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ‘‘