‘චන්ද්‍රිකාගේ පුතාටත් දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා‘


රෝමයේ පිහිටි ලෝක ආහාර සංවිධානයේ පවත්වන පොසොන් පින්කමට සහභාගි වීම සදහා පැමිණ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එසෑණ සමග කෙටි දුරකථන සංවාදයකට එක් විය.

ප්‍රශ්නය - 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මත ගැටුමක් නිර්මාණය වෙලා තිබේද?

පිළිතුර -  නැහැ. එවැනි මත ගැටුමක් නොවෙයි, මත ප්‍රකාශ කිරිමක් පමණයි මෙතන තියෙන්නේ. සන්ධානයේ  පක්ෂ 12තිබෙනවා. ඔවුන්ගේ මත ඔවුන්ට ප්‍රකාශ කිරිමට නිදහස තිබෙනවා. නමුත් අපි තවම අවසන් තිරණයකට ඇවිත් නැහැ. අවසන් තීරණයේදි ඒ හැමෝම රජයක් විදියට එකට ඉඳීවි. ශ්‍රේෂ්ඨාධිකරණය තිරනය කළොත් පාර්ලිමෙන්තු තුනෙන් දෙකේ බලයක් මේ සදහා අවශ්‍යයි කියලා අපිට පාර්ලිමෙන්තු ඡන්දයකට යන්න වෙනවා.

ප්‍රශ්නය- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නැවතත් කරලියට ඇවිත්. ඇගේ මේ ආගමනය විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමට බවයි බොහෝ දෙනා පවසන්නේ. ඔබ මෙය දකින්නේ කොහොමද?

පිලිතුර- ඇගේ පුතා විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ අයිතිය ඇයට තිබෙනවා. නමුත් නායකත්වය භාර ගැනීමට නම් පරිනත දේශපාලකයෙක් විය යුතුයි. රටේ නායකත්වයට පත් වු හැමෝම හොඳ දේශපාලන අත්දැකීම් ඇති අයයි.

ප්‍රශ්නය-   ඇගේ නැවත ආගමනයත් සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ  වීමේ අවදානමක් පවතීද ? රජයේ ඈමතිවරයෙක් පවා කියා තිබුණේ හිටපු ජනාධිපතිනියට උදව් දෙන මැති ඇමතිවරුන් සිටින බවයි.

පිළිතුර- මොන පිස්සුද? දේශපාලන අනාතයින් වෙන්න කවුද කැමති. එහෙම කිසිම තොරතුරක් මට ඇවිත් නැහැ. පක්ෂය දෙකඩ වෙනවනම් වෙන්න තිබුනේ 2005 ජනාධිපතිවරණයේදී. කවුද කකුලෙන් ඇද්දේ කවුද මග ඇරියේ කියලා හැමෝම දන්නවා. යට හිටියේ කවුද කියලත් දන්නවා.

ප්‍රශ්නය- රාජිත සේනාරත්න ඇමති මෑතකදි ප්‍රසිද්ධ වෙදිකාවේ කියා හිටියා තමන්ගේ දේශපාලන ගමන නවත්වන්න බෞද්ධ බලවේගයක් ක්‍රියා කරනා බව. මේ පිළිබදව ඔබට යමක් කියන්න පුලුවන්ද?

පිළිතුර - ඈත්තෙන්ම එතුමාට වෙනමම දේශපාලන මතයක් තියෙනවා. ඒ මතයට විරුද්ධ පිරිස් නොයෙක් දේ කරනවා ඇති. හැබැයි මොන බලවෙගයට වුවත් කිසිම පැවැත්මක් නැහැ, එයාලගෙ අරමුණත් ඒ අයට ඉන්නේ කවුද කියලා දැන ගත්තු දවසට.

ප්‍රශ්නය- ඔබ බෞද්ධයෙක්. මෑතක සිට රටට නොයෙක් බෞද්ධ බලවේග බිහි වෙනවා. ඇතමුන් එයට පක්ෂයි, තවත් අය විරුද්ධයි. ඇතැම් බලවේග නීතිය අතට ගෙන ක්‍රියා කරන බවයි පෙන්න තියෙන්නේ. කඩ වහන්නත් ආයතන වලට පැන බඩු බාහිරාදිය අතඩංගුවට අරගන්නත් ඔවුන්ට බලය දුන්නේ කවුද කියලා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. පොලිසිය එන්නේ ඔවුන් අතඩංගුවට ගත්තු බඩු අරන් යන්න.?

පිලිතුර -   ඔවුන් තවම හරි තැනකට පැන්නේ නැහැ. ඒ වගේ තැනකට පැන්න ගමන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලා  ගන්න පුලුවන්.

ප්‍රශ්නය- විදෙස් සංචාර වලට එන ඇතැම් මැති ඇමැතිවරු ඒ රටවලට ඇවිත් ඇසුරු කරන්නේ රටින් පැන ඇවිත් ඉන්න රටේ නම ගිය අපරාධ කාරයෝ. මෙවැනි දේ  රජයට කැළලක් නොවෙයිද?

පිළිතුර- මේ පිළිබඳව පැවසීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මාම ලංකාවට ගිය ගමන් ජනාධිපතිතුමා දැනුවත් කරනවා.තමන්ගේ බුද්ධිමට්ටමින් තමන් දැනගතයුතුයි ඇසුරු කල යුත්තේ කවුද කියලා.