‘ගෝල් මැරීනා‘ සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් කමිටුවේදී සාකච්ඡා කරන්න ‘


(බිඟුන් මේනක ගමගේ )
 
ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන ගෝල් මැරීනා සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ලක්කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
 
ගාල්ල සංවර්ධනයට සංචාරක කර්මාන්තය ඉතා හොඳ සාධකයක් වුවද ඇමැතිවරුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත එය සිදුකළ නොහැකි බවත් ඊට ස්ථිරසාර ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.
 
තමා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයාව සිටියදී ගාල්ල වරායට දිය කඩනයක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගත් නමුත් අගමැතිවරයා විසින් එය වළක්වනු ලැබී යැයි චෝදනා කළ හෙතෙම යෝජිත සංචාරක ව්‍යාපෘතිය ගැන කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර ඇතිද යන්න පවා සැක සහිත බව කීය.
 
දක්ෂිණ සංවර්ධන අධිකාරිය අද වනවිට දත් නැති ආයතනයක් බවට පත්ව ඇති බවත් දෙනියාය ආසනයේ මාර්ග සංවර්ධනයට එහි කටයුතු සීමා වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
 
ගෝල් මැරීනා ව්‍යාපෘතිය යනු ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට රහසිගතව ලබාදීමේ උත්සාහයක් බවට මීට පෙර අවස්ථාවකදී විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද චෝදනා කළේය.
 
ගාල්ල වරාය හා රූමස්සල වෙරළ තීරය සම්බන්ධ කරගනිමින් ගෝල් මරීනා නමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියට දැනට ටෙන්ඩර් කැඳවා ඇති බවත් පළමු අදියරේදී ගාල්ල වරායෙන් අක්කර පහක් ලබා දී දෙවැනි අදියරේදී රූමස්සල වෙරළ තීරයත් ලබා දීමට නියමිත බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.