‘ගෝල් මාවල්ස්’ හිමිකරුට ඇප


(රෝෂන් තුෂාර)


"ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට බලපෑම්  කලේ යයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි   " ගෝල් මාවල්ස්" කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ඇප මත මුදා හැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහතා  අද  (20) නියෝග කළේය.

ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් සැකකරුට රුපියල් ලක්ෂ  පහක මුදල් ඇප හා ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා    සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.

සැකකරුට සෑම බදාදා දිනකම ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.

"ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග පාවාදීමටයි යෝජනාවක් කිරීම සම්බන්ධයෙන්  සැකකරු පසුගිය සිකුරාදා(13) දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු  නම් කරන අවස්ථාවේදී අසාර්ථක විදිහට සෙල්ලම් කිරීමට ඇමෙරිකානු ඩොලර් 15000  ලබා දෙන බවත්,සැකකරු නම් කරන පන්දු යවන්නෙකුට එක් ඕරයක් ලබා දුනහොත් ඇමරිකන් ඩොලර් 30000.00ක මුදලක් ලබාදීමට සූදානම් බවත් සඳහන් කර තරග පාවාදීමට යෝජනා එරෙහිව මෙම විමර්ශනය සිදුකෙරේ.