ගුවන් යානා අටක් ගෙන්වීම සඳහා රාජපක්ෂ පාලනය වියදම් කළ ඩොලර් බිලියන 211 (රුපියල් කෝටි 3200632) මුදලින් රටේ ජනතාවට මාළිගා වුවත් තනා දීමේ හැකියාව තිබූ බවත්, පසුගිය දශකයක කාලයේදී පාලකයන් රටේ පුරවැසියන්ගේ අයිතිය පවා සොරකම් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹදී පැවැසීය.
රාජපක්ෂ සමයේ දී කළැයි කියන සොරකම් එකින් එක අද අනාවරණය වන බවත්, ඒවා හෙළිදරව් කරන විට මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග ගෙන ඒමට විවිධ පිරිස් කටයුතු කරන බවත් අගමැතිවරයා කීවේය.
වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ පස් අවුරුදු සැලැස්ම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී එළිදක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු අනාවරණය කළේය.
‘විශ්වවාසභංග ගෙන එන්නේ නම් සොරකම් අනාවරණය කිරීමෙන් පසු ගෙන එන්නැයිද මුදල් අමාත්‍යවරයාට විශ්වාසභංග ගෙන ඒමට පෙර විශ්වාසභංග ගෙන ආ යුත්තේ අද පාර්ලිමේන්තුවේ සිටින එක්තරා සාමාන්‍ය මන්ත්‍රීවරයකුට විරුද්ධව යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
‘මේ වැඩසටහන ඔස්සේ කඳුකරයේ ජීවත්වන, වැවිලි කර්මාන්තයේ නියුතු ජනතාවට ඉඩම් අයිතිය ලැබෙනවා. ඔවුන් වෙනුවෙන් නිවාස, රෝහල්, පාසල් ඉදිකෙරෙනවා. එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. ඒ සම්බන්ධයෙන් පලනි දිගම්බරම් මහතාට මා ප්‍රශංසා කරනවා. අද කඳුකරයේ වෙනදා නොදැකපු සංවර්ධනයක් දකින්න පුළුවන්. අද ඔවුන් මේ රටේ සමාජයේ කොටසක් බවට පත්වෙලා.
ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා ජනවරමකින් ආවේ ජනතාවට හිමි අයිතිය නැවත ලබාදීමටයි. එය විප්ලවකාරී වෙනසක්. පසුගිය දශකයක කාලයේදී ජනතාව අයිතිය පවා හොරකම් කළා. හොරකම් නොකළේ මොනවද කියා අපි දන්නේ නෑ. අද මුදල් අමාත්‍යවරයා ඒවා හොයාගෙන යනවා. දැනට අපි හොරකම් කරපු රුපියල් බිලියන දාහක් හොයාගෙන තියෙනවා.
අර මිලදී ගත්තු ගුවන්යානා අට මිලදී නොගෙන රට සංවර්ධනය කළා නම්, අද කී දෙනෙක් නිවාස ලැබිලාද. ගුවන්යානා අටක් මිලදී ගෙන තිබුණා. ඒ සඳහා ඩොලර් බිලියන 211 වියදම් කරලා තිබුණා. අපි අද ක්‍රියාත්මක කරන්න පටන් ගන්න යන ව්‍යාපෘතියට වැය වෙන්නේ බිලියන 10යි. ඒ වගේ විසි එක් ගුණයක් හොරකම් කරලා. හෙජින් ගිවිසුමෙන් බිලියන 118 හොරක් කරලා. මේ හොරාකාපු මුදල්වලින් හැම මනුස්සයෙක්ටම මාළිගා තනන්න තිබ්බා. ඒ මුදල්වලින් උතුරේ හා කඳුකරයේ දෙමළ ජනතාවට, නැගෙනහිර මුස්ලිම් ජනතාවට, සිංහල මිනිස්සුන්ට නිවාස හදා දෙන්න තිබුණා.‘‘




