‘ගිරවු’ දඹුල්ල-මාතලේ බසයේ පා පුවරුවේ


‘ගිරවුන්ගෙන්’ තමන්  බේරා ගන්නැයි දඹුල්ල මාතලේ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික  බස් රථ  කොන්දොස්තරවරු හා රියදුරෝ දඹුල්ල සහකාර පොලිස් අධිකාරී පී කේ ඥාණසේන මහතාගෙන්  ඉල්ලීමක් කළහ.

බස් රථ සේවකයින් 25 ක් පමණ දෙනා බ්‍රහස්පතින්දා (26) පස්වරුවේ දඹුල්ල පොලීසියට ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා හා සහකාර පොලිස් අධිකාරීවරයා හමු වී මෙම ගිරව් ගැන හෙළිදරව් කළේය.

සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි පිරිසගෙන් විමසා සිටියේ ගිරවුන්  කවුද යන්නයි.පෙරළා පිළිතුරු දුන් බස් කොන්දොස්තරවරයකු කීවේ ගිරවුන් යනු දුර ගමන්සේවා බස් රථවල දොරටුවේ එල්ලී මගීන් නංවා ගන්නා අත් උදව්කරුවන් බවයි. එක බස් රථයක මෙවැනි ගිරවුන් හතර දෙනකු සිටින බව ද ඔවුන් පැවසුහ.

ඔවුන් දුර ගමන් සේවා බස් රථවල සීමා සහිත නැවතුම් නොතකා  කෙටි දුර සේවා බස් රථවල ගමන් කරන මගීන්ද නංවා ගන්නා බවත් ඊට විරුද්ධ වෙද්දී මෙම පහර දීම සිදු වන බවත් ඔවුන් පැවසුහ. දිගින් දිගටම මෙම ගිරවු නැමැති බස් රථ සහයකයින් තමන්ට පහර දුන් බවත් මෙතෙක් ඔවුන්ට බයේ පැමිණිල්ලක් නොකළ බවත් ඔවුන් සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියේ කීහ.

සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය සමඟ සාකච්ඡාවක් පවත්වා මෙයට විසඳුමක් ලබා දීමටත් කාට හෝ පහර දීමක් සිදුවන්නේ නම් පොලීසියට පැමිණිලි කරන ලෙසත්ය.